Thursday, July 30, 2015

ටෝනි බ්ලෙයාර් අගෝස්තු 11 වන දා ශ්‍රී ලංකාවට!

බ්‍රිතාන්‍ය යේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇන්තනී බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ චෙරී බ්ලෙයාර් සහ පුතුන් දෙදෙනා අගෝස්තු මස 11 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශයේ සන්ධාන අංශයේ (Protocol Division) ආරංචි මාර්ග සඳහන් කර සිටී.
අගෝස්තු මස 11 වන දා ශ්‍රී ලංකාවට පැමිණෙන ටෝනි බ්ලෙයාර් මහතා සහ පවුලේ උදවිය සිය ග්‍රීෂ්ම නිවාඩුව ශ්‍රී ලංකාවේ ගත කිරීමට නියමිත වේ. ඒ අනුව බ්‍රිතාන්‍ය යේ හිටපු අගමැතිවරයා සහ පවුලේ උදවිය සති 2 ක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කරනු ඇත. එම කාලය තුලදී ඔවුන් අනුරාධපුරයේ උළුගල්ල වලව්ව හා දකුණේ වෙරළාශ්‍රිත අමන්ගල්ල හා අමන්වැල්ල සංචාරක නිකේතනයන්හි ගත කිරීමට නියමිත අතර ඒ සඳහා පූර්ණ ආරක්ෂාව ශ්‍රී ලංකා රජය මගින් ලබා දීමට නියමිත බව සන්ධාන අංශයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

අගෝස්තු මස 24 වන දා ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති හා අගමැතිවරයා හමුවීමට නියමිත වේ.

එදින සවස එනම් අගෝස්තු 24 වෙනිදා සවස හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ දසවන අනුස්මරණ දේශනය බ්‍රිතාන්‍ය යේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා විසින් කදිරගාමර් ආයතනයේදී සිදුකිරීමට සැලසුම් කොට තිබේ.

බ්‍රිතාන්‍ය යේ සුප්‍රසිද්ධ බැරිස්ටර් වරියක වන රාජ නීතිඥ චෙරී බූත් බ්ලෙයාර් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ ආරාධනාව පිට එහි සාමාජික සාමාජිකාවන් සදහා විශේෂ දේශනයක් අගෝස්තු 25 වන දා කිරීමට සැලසුම් කොට ඇත. 

ඉන් අනතුරුව එදින සවස විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ පවුලේ උදවියට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිත වේ. ටෝනි බ්ලෙයාර් මහතා සහ පවුලේ උදවියට සිය වාර්ෂික ග්‍රීෂ්ම නිවාඩුව ශ්‍රී ලංකාවේ ගත කිරීමට ආරාධනා කරනු ලැබුවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කොට ඇත්තේ එක්සත් රාජධානියේ වැඩ බලන මහකොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා මගින් බව ඉහත කී ආරංචි මාර්ග සඳහන් කර සිටී.

No comments:

Post a Comment