Monday, May 5, 2014

ආණ්ඩුවේ තවත් ඉන්න නම් ජානිපෙන් සන්ධානයට යෝජනා 12ක්

ජාතික නිදහස් පෙරමුණ විසින් කොළඹදී පවත්වන්නට යෙදුනු දෙවන ජාතික මහා සමුළුවේදී ආණ්ඩුවට හදිසි ප‍්‍රතිසංස්කරණ යෝජනා 12ක් ඉදිරිපත් කලේය.
මෙම යෝජනා ගැන අදහස් පල කරමින් පක්‍ෂ නායක ඇමති වීරවංශ කීවේ මෙම යෝජනා ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කිරීම හෝ නොකීරීම මත තම පක්‍ෂය ආණ්ඩුව සමඟ ඉදීම හෝ නොඉදීම තීරණය වනු ඇති බවයි.

එම පක්‍ෂ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරනු ලැබූ අදාල යෝජනා 12 මෙසේය.

ජාතික නිදහස් පෙරමුණේ 2වන මහාසමුළුව, ජනාධිපතිවරයා හා සන්ධානආණ්ඩුව හමුවේ තබනු ලබන හදිසි ප‍්‍රතිසංස්කරණ යෝජනා :

01. ශ‍්‍රී ලංකාව, කොටි ත‍්‍රස්තවාදය පරාජය කරනු ලැබීමට සමත් වූවද, එතැන් සිට මේ දක්වාම බෙදුම්වාදය හා ජාතිවාදය පරාජයට පත් කිරීමේ තීරණාත්මක දේශපාලන හා ව්‍යවස්ථාමය පියවර ගැනීමට අපොහොසත්ව සිටියි. එබැවින්, වර්තමානයේ උද්ගතව ඇති නව දෙමළ ඊළාම් මෙහෙයුම මනා ලෙස වටහා ගනිමින්, ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවය සනාථ කළ හැකි, බෙදුම්වාදය තීරණාත්මකව පැරදවිය හැකි, ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සමත්, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පුළුල් කරන සහ යහපාලනය තහවුරු කරන ජනතා හිතවාදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක්, මහජනතාව හමුවට ඉදිරිපත් කළ යුතුය. එම කෙටුම්පත මනා ජනතා සංවාදයකින් අනතුරුව සුදුසු වෙනස්කම් සහිතව ශ‍්‍රී ලංකාවේ මූලික නීතිය බවට පත් කරනු පිණිස ඇවැසි පියවර ගතයුතු බව සහ මේ සඳහා මෑතකදී රට හමුවේ තබන ලද බෞද්ධ පුනර්ජීවන කමිටු නිර්දේශ යොදාගත යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.

02. ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අභියෝග කරමින් සදාචාර විරෝධී ලෙස සහ ජාත්‍යන්තර සම්මතයන්ට විරුද්ධව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත කළ ‘‘2014 ඇමෙරිකානු යෝජනාවලිය’‘ මෙම ජාතික මහා සමුළුව දැඩි ලෙස හෙළා දකින අතර එම යෝජනාවලිය මගින් නියම කොට ඇති ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශන යාන්ත‍්‍රණය සඳහා පත් කරනු ලබන කිසිදු ජාත්‍යන්තර ඒජන්තවරයකුට ශ‍්‍රී ලංකා භූමියට පය ගැසීමට ඉඩ ලබා නොදිය යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.

03. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට සහ නීති පද්ධතියට අනුව දැනට සිදු කෙරෙමින් පවතින පරීක්‍ෂණ සහ අනාගතයේදී ක‍්‍රියාත්මක කිරීමට දැනටමත් සැලසුම් කොට ඇති ජාතික සමගියට සහ ප‍්‍රතිසන්ධානයට අදාළ ක‍්‍රියාකාරකම් හැරුණු විට ජාත්‍යන්තර බලපෑම් මත කිසිදු විමර්ශනයක් හෝ පරීක්‍ෂණයක් ආරම්භ නොකළ යුතු බවට මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටින අතර එවැනි පරීක්‍ෂණයක් අවශ්‍ය බවට විවිධ දේශපාලන බලවේග විසින් ආණ්ඩුවට කරනු ලබන බලපෑම් දැඩි ලෙස හෙළා දකියි.

04. ශ‍්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාව මත බලහත්කාරයෙන් පැටවූ බෙදුම්වාදී දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම හෝ තවදුරටත් සංශෝධනය කිරීම මත පදනම්ව කිසිදු පාර්ශ්වයක් සමග රජය නිල වශයෙන් සාකච්ඡ නොකළ යුතු බව සහ බලය බෙදීම හෝ ප‍්‍රතිසන්ධානය නාමයෙන් පහසුකම් සැලසීම හෝ සාකච්ඡ කිරීම සදහා දකුණු අප‍්‍රිකාව හෝ වෙනත් කිසිදු බාහිර රාජ්‍යයකට හෝ පාර්ශ්වයකට මැදිහත්වීමට ඉඩ ලබා නොදිය යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.

05. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බෙදුම්වාදී මතවාද පතුරුවන, ඊට අදාළ රහසිගත සන්නද්ධ ක‍්‍රියාකාරකම්වල නියුක්ත වන සහ ශ‍්‍රී ලංකාවට සතුරු ජාත්‍යන්තර සංවිධාන සහ පාර්ශ්ව සමග ගනුදෙනු කරන සහ තොරතුරු ලබා දෙන සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්‍ෂ සහ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන්ට එරෙහිව තරාතිරම නොබලා රටේ නීතිය තදින් ක‍්‍රියාත්මක කළ යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.

06. ආගමික සහජීවනය හා ජනකොටස් අතර සමගියට එරෙහිව කටයුතු කරන විදෙස් ආධාර ලබන ආගමික ස්වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක‍්‍රියාකාරීත්වය නතර කිරීමට වහාම පියවර ගත යුතු බව සහ ආගමික සංහිඳියාවට හා ජනකොටස් අතර සමගියට එරෙහි වන කවර ස්වරූපයේ සංවිධානයක් සම්බන්ධව වුව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.

07. යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධන ක්‍ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාව අත්පත් කර ගෙන ඇති ජයග‍්‍රහණ තවදුරටත් ආරක්‍ෂා කර ගනිමින් රටේ මූල්‍ය සම්පත්වලින් සාධාරණ ප‍්‍රතිශතයක්, අලෙවි කළ හැකි පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීමේ කර්මාන්ත පද්ධතියක් ගොඩනැ`ගීම සඳහා ආයෝජනය කළ යුතු බව සහ ඒ සඳහා පෞද්ගලික අංශයද දායක කර ගැනීම සඳහා නිශ්චිතව හඳුනාගත් කර්මාන්ත ක්‍ෂේත‍්‍රවල විශේෂ දිරි ගැන්වීම් සහ මූල්‍ය උපාංග හඳුන්වාදිය යුතු බව සහ එම ක‍්‍රියාවලියේ පළමු පියවර ලෙස කිරිපිටි, සීනි සහ සහල්පිටි ආහාර නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීම සඳහා එම ආහාරවලට විකල්ප ලෙස ආනයනය කරනු ලබන ආහාර අධෛර්යවත් කිරීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බව මෙන්ම ජාතික වශයෙන් එම කර්මාන්ත දියුණු කිරීමේදී උතුරු සහ නැගනහිර පළාත් සඳහා ප‍්‍රමුඛතාව දිය යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.

08. මහින්ද චින්තනය අනුව රාජ්‍ය ආයතන පද්ධතිය ආරක්‍ෂා කිරීම සඳහා මෙතෙක් ගනු ලැබ ඇති පියවර අගය කරන අතර මහින්ද චින්තන වැඩපිළිවෙළ ‘‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ දක්වා ඇදගෙන යාමේ සියලූ ප‍්‍රයත්න පරාජය කළ යුතු බව සහ එම ක‍්‍රියාවලියේ පළමු පියවර ලෙස බීජ පනත මගින් ගොවියාගේ බීජ අයිතිය බහුජාතික සමාගම් වෙත පැවරීම, බහුජාතික කිරිපිටි සහ පාන්පිටි සමාගම්වලට මෙන්ම සහල් ආනයනය කරන සමාගම්වලට බදු සහන ලබා දෙමින් දේශීය කෘෂිකර්මාන්තය දුර්වල කිරීම සහ කෘෂි රසායන ආනයන සමාගම්වලට සහන දෙමින් ගොවියා ආර්ථික සහ ශාරීරික වශයෙන් ලෙඩ කරන සහ පරිසරයට වින කරන නිලධාරීවාදී ආර්ථික ඝාතන පියවර ආපසු හැරවීම මගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වහා පියවර ගත යුතු බව මෙන්ම බහුජාතික සමාගම්වලට ලබාදී ඇති සහන අත්හිටුවා එම අරමුදල් සියල්ල ගොවි ජනතාවට සෘජු සහනාධාර ලබාදීම සඳහා යෙදවිය යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.

09. සදාචාරමය හා සංස්කෘතිකමය වශයෙන් සමාජයේ සිදුව ඇති පරිහානිය කෙරෙහි ගැඹුරු අවධානය යොමු කර ගෞරවනීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ අන්‍ය ආගමික නායකයන් මෙන්ම මාධ්‍ය, අධ්‍යාපන ආදී අදාළ වන අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළත් පුළුල් මණ්ඩලයක් පිහිටුවා එමගින් ලැබෙන නිර්දේශ ක‍්‍රියාවට නැගීමට කඩිනමින් පියවර ගතයුතු බව සහ ශ‍්‍රී ලංකාව තුළ තවදුරටත් කැසිනෝ වැනි මහා පරිමාණ සූදු, ඔන්ලයින් හෙවත් ඉලෙක්ට්‍රොනික සූදු සහ ඒ ආශ‍්‍රිත දුරාචාර ව්‍යාප්ත වීමට නොහැකි වන පරිදි අවශ්‍ය නීතිමය ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතු අතර කැසිනෝ වැනි සූදු සහ දුරාචාර ඇතුළත් වන පරිදි කවර ආයෝජනයකටවත් බදු සහන ලබාදීම නොකළ යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.

10. චීනය සමග එළඹීමට යෝජිත නිදහස් ආර්ථික ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතු බව සහ ඒ යටතේ ශ‍්‍රී ලාංකික නිෂ්පාදන සඳහා විවෘත වන චීන වෙළඳපොළ ජයගැනීමට සමත්, නව ව්‍යවසායක පරපුරක් බිහිකිරීම උදෙසා අඩු පොලී සහනදායී ණය ලබාදීම, හඳුනාගත් කර්මාන්ත සඳහා අධීක්‍ෂණය හා උපදේශනය ලබාදීම, බදු සහන ලබාදීම ඇතුළත් නව ව්‍යවසායක පරපුරක් බිහිකිරීමේ නව උපායමාර්ගික යෝජනාවලියක් රට හමුවේ තැබිය යුතු බව සහ එය වහාම ක‍්‍රියාත්මක කළ යුතු බව මෙම මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.

11. රටේ යහපාලනය තහවුරු කිරීම සහ දුෂණ වංචා අවම කිරීම මුල්කරගෙන, දේශපාලනඥයන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් සෘජුව මහජනයාට වගවීම සහ විනිවිදභාවයෙන් කටයුතු කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය නීති සහ පරිපාලන ක‍්‍රමවේද වහා ශක්තිමත් කළ යුතුය. ඊට අදාළව මහජන අදහස් සහ යෝජනා ලබාගැනීමට ලේකම් කාර්යාලයක් පිහිටුවිය යුතු බව සහ එම ක‍්‍රියාවලිය පිළිබඳව මහජන විශ්වාසය දිනාගැනීමේ පළමු පියවර ලෙස සියලූම මහජන නියෝජිතයන්ගේ සහ උසස් රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ බාධාවකින් තොරව ඕනෑම අවස්ථාවක මහජනයාට ලබාගත හැකි ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බව මෙම මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.

12. මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ ආශ‍්‍රිතව පාතාල කණ්ඩායම් විසින් සිදු කරන මහා පරිමාණ අපරාධ මැඩලීම සඳහා පවතින නීතිමය රාමුව යටතේ පොලීසිය සහ යුද හමුදාව යොදාගනිමින් ඒකාබද්ධ කාර්යක්‍ෂම යාන්ත‍්‍රණයක් පිහිටුවිය යුතු බව සහ එම අපරාධ සඳහා වැරදිකරුවන් වන අයට එරෙහිව මරණ ද`ඩුවම ක‍්‍රියාත්මක කළ යුතු බව මෙම මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.

මධ්‍යම කාරක සභාව,
ජාතික නිදහස් පෙරමුණ,
2014 මැයි මස 05 වැනි දිනයේදීය.
SAN_0218SAN_0238SAN_0264SAN_0270SAN_0565SAN_0591

No comments:

Post a Comment