පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය නැවත හැරවීමෙන් පසු මැලේසියානු ගුවන් කලාපය උඩින් ගියත්, ඉන්දුනීසියානු ගුවන් කලාපය මගහැර පියාසර කර ඇති බව මේ වනවිට තහවුරු වන්නේ යැයි මැලේසියානු බලධාරීහු පවසති.
ඉන්දුනීසියානු රේඩාර් පද්ධතියට යානය හසුවන බව දැන මෙය හිතාමතා කළ දෙයක් බවට සැකයක් ඒ තුළින් මතු වී ඇති බවද විදෙස් පුවත් සේවා පවසයි.
කෙසේ වෙතත් යානය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී ඔස්ට්‍රේලියානු යුද නෞකාවට ලැබුණු සංඥා සම්බන්ධයෙන් අද වනවිට මෙහෙයුම් වඩාත් තීව්ර කර තිබේ. නමුදු, ඊයේ දිනයේදීත් ඔස්ට්‍රේලියානු යුද නෞකාවටත්, ඊට පෙර චීන නෞකාවටත් ගැඹුරු සාගරයෙන් ඇසුණු ගුවන්යානා කළු පෙට්ටියකින් නිකුත් කරන හඬ තරංගයන්ට සමාන සංඥා අද දිනයේදී මේ වනතෙක් නැවත වාර්තා වී නොමැති බවද පැවසෙයි.
අපට යානය සොයා ගැනීමට ඇති කාලය කෙමෙන් අඩු වෙනවා. ඒ නිසා අප අතට අසුවන සෑම උපක්රමයක්ම මේ අතිශය ව්‍යාකූල ප්රශ්නය විසඳා ගැනීම සඳහා යොදනවා යැයි ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය ඩේවිඩ් ජොන්ස්ටන් පවසයි.
සෝදිසි මෙහෙයුම්වල නිරත පිරිස්වලට අනුව ඔවුන්ට ලැබී ඇති සංඥා යානයක කළු පෙට්ටියෙන් ලැබී ඇති සංඥා නිසා යානය සොයා මෙහෙයුම් සිදුකරන කලාපය පිළිබඳ යම් ස්ථාරවත්වයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් මෙය අතුරුදන් වූ MH370 යානයෙන්ම ලැබෙන සංඥා බව තවම තහවුරු වී නොමැති බවද පැවසෙයි.
ඒ අනුව, දකුණුදිග ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර් 77,580ක කලාපයක්, වෙත සෝදිසි මෙහෙයුම් කලාපය කුඩා වී ඇත. එය පර්ත් නගරයට වයඹ දෙසින් කිලෝමිටර් 2,270ක් පමණ දුරින් ගැඹුරු සාගරයේ වූ කලාපයකි.
කෙසේ වෙතත් මෙහි වඩාත් බැරෑරුම් තත්ත්වය වන්නේ කළු පෙට්ටියෙන් නිකුත් කරන සංඥා යානයක් අනතුරට පත්වී දින 30කින් එහි බැටරි ආයුකාලය සමග හීන වී යෑමය. අදට යානය අතුරුදන් වී මාසයක් ගත වී අවසන් නිසා තවදුරටත් කළු පෙට්ටියෙන් සංඥා ලැබෙන්නේ නම් එය වාසනාවක් විය යුතු බවද කියැවෙයි.
මේ අතර, යානය සෙවීමේ මෙහෙයුම් සඳහා අදාළ මුහුදු කලාපයේ මේ වනවිට මිනිසුන් රහිත සබ්මැරීන යොදා ගනිමින් සිටින බවද ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසා සිටියේය.
එමෙන්ම, යානය ඉන්දුනීසියානු ගුවන් කලාපය මග හැර ගමන් කිරීම පිළිබඳ වෙනමම උභතෝකෝටිකයක් මතුවී තිබේ.
පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන මැලේසියාවේ ක්වලලාම්පූර් නුවරින් ගමන් ඇරඹි MH370 දරණ බෝයිං 777 යානය පසුගිය මාර්තු 08 වැනිදා ගුවන් ගත වී පැයක පමණ කාලයකින් අතුරුදන් විය. එදා සිට අද දක්වා දින 32ක පමණ කාලයක් යානය සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන අතර, මෙය ලෝක ඉතිහාසයේ දැවැන්තම හා විශාලතම වියදමක් දැරූ සෝදිසි මෙහෙයුමට බවට පත්වී ඇත.
No comments:
Post a Comment