Tuesday, April 22, 2014

පෝල් ෆාබ‍්‍රාසස් යන්න යයි

මාස තුනකට ආසන්න කාලයක් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ පෝල් ෆාබ‍්‍රාසස් මහතා හදිසියේම සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (22 වැනිදා) නිවේදනය කළේය.

මේ වසරේ ජනවාරි මස අවසන් සතියේදී ආරම්භ වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ සිට නිමාවූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය දක්වාම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් පෝල් ෆාබ‍්‍රාසස් මහතා කටයුතු කළේය.

විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය නිමා වීමත් සමගම නිවාඩුවක් සඳහා සිය මවුරට වන එංගලන්තය බලා ගිය පෝල් ෆාබ‍්‍රාසස් මහතා එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුර බාරගැනීමට සූදානම් බවත් එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියැවේ.

වසර 2007 ලෝක කුසලාන තරගාවලිය නිමා වීමෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුුකරුවා වූ ටෙ‍්‍රවර් බේලිස් මහතාගේ සහාය පුහුණුකරුවා වශයෙන්ද කටයුතු කළ පෝල් ෆාබ‍්‍රාසස් මහතා වසර 2009 දී ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉලක්ක කරමින් ලාහෝර් නුවරදී සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන්ද තුවාල ලැබීය. පසුව ඔහු ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් ඉවත් විය.

පෝල් ෆාබ‍්‍රාසස් මහතා ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ කෙටි කාලය තුළදී ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම ජයගැනීමෙන් අනතුරුව ආසියානු කුසලානයද දිනාගත්තේය. පසුව විස්සයි:20 ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදීත් ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරුවා වූයේ පෝල් ෆාබ‍්‍රාසස් මහතාය.

වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටින, ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මාවන් අතපත්තු ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මීළග පුහුණුකරුවා වීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් කළ විමසීමකදී ප‍්‍රකාශකයෙක් පවසා සිටියේ ඒ පිළිබඳව දැන්ම කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවයි

”අපේ එංගලන්ත සංචාරය ආරම්භ වීමට තවත් තියෙන්නේ සතියකත් අඩු කාලයක්. ඒ නිසා මාවන්ට තාවකාලිකව හරි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය බාරගන්න වෙනවා”

”ඒ කොහොම වුණත් අපි වඩාත් දීර්ඝව කරුණු සොයා බලා, ඉදිරිය ගැනත් හිතලා, අපේ මීළග පුහුණුකරුවා කවුරුන්ද කියන එක ගැන තීරණයක් ගන්නවා” යයිද එම ප‍්‍රකාශකයා පැවසීය.

No comments:

Post a Comment