Thursday, April 24, 2014

ජනාධිපතිවරණය 2015 නොවේ: 2014 අගදී!

මීළඟ ජනාධිපතිවරණය 2015ජනාවාරි 30වන දා පවත්වන බවට මේ දිනවල මාධ්‍යයන්හි පලවන වාර්තා ජනාධිපති කාර්යාලයේ අනුදැනුම මත පැළ කරන ලද (Plant News) පුවතක් බවත්, එය විපක්ෂය නොමග යැවීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නිර්මාණය කරන ලද්දක් බවත් ආණ්ඩුවේ ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
මෙම පුවත ආණ්ඩුවේ මාධ්‍ය හරහා 'පැළ නොකර' එය ස්වාධීන යැයි බැලූ බැල්මට පෙනී යන මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන ලද්දේ එම පුවතේ විශ්වසනීයත්වය තහවුරු වීම සඳහා බවත්, 2014සැප්තැම්බර් මාසයේ හෝ ඊට ආසන්නයේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයකට යෑමට ජනාධිපතිවරයා මේ වන විට පිඹුරු පත් සකසා ඇති බවත් එම ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා එවැනි තීරණයකට එළඹ ඇත්තේ ඔහුට හිතවත් ජ්‍යෙතිෂඥයින්ගේ මත පමණක් නොව ආරක්ෂක බුද්ධි අංශවල වාර්තා ද සැලකිල්ලට ගනිමිනි.

විපක්ෂය ඒකාබද්ධ වීමට ඉඩක් නොතබා සහ ආණ්ඩුව කෙරෙහි නොමනාපයෙන් පසුවන ඇමතිවරු ගොනු වීමට ඉඩ නොතබා වහාම ජනාධිපතිවරණයකට යායුතු යැයි බුද්ධි සේවා ජනාධිපතිවරයාට අවධාරණය කර ඇතැයි ද පැවසේ.

ජනාධිපතිවරණය සැබෑ ලෙස පැවැත්විය යුත්තේ 2016වුවද, පසුගිය පළාත් සභා මැතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල සැලකිල්ලට ගැනීමේදී අනාගතයේ එල්ල විය හැකි ජාත්‍යන්තර හා දේශීය බලපෑම් පිළිබඳව සලකා බලන විට ජනාධිපතිවරණය 2016දක්වා කල් තැබීම අතිශය අවදානම් බව ජනාධිපතිවරයාට සමීප ඇමතිවරුන් හා ඔහුට සමීප නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

තත්වය කෙසේ වුවද 2014නොවැම්බර් 17ට කලින් ජනාධිපතිවරණය පවත්වන්නේ නම් ඊට එරෙහිව පවතින ව්‍යවස්ථානුකූල අර්බුද රජය විසින් විසදාගත යුතුව තිබේ. වත්මන් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකු තේරී පත්වී වසර 4ක් යනතෙක් නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමේ බලයක් නොමැත.

මේ පිළිබඳව 18වන සංශෝධනයේද කිසිවක් සඳහන් කර නැති නිසා පෙර පූර්වාදර්ශ අනුව ක්‍රියාකිරීමට සිදුවේ. මෙම තත්වයෙන් ගොඩ ඒම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ළඟදීම විමසීමට නියමිත බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

උපුටා ගැනීම - ශ්‍රී ලංකා මිරර්

No comments:

Post a Comment