Thursday, March 6, 2014

රාජපක්ෂ පවුල සමූල ඝාතනය කරන්න ෆොන්සේකා සැරසේ..

එදා, මෙරට දේශපාලන ඉතිහාසයේ හමුදා කුමන්ත‍්‍රණයක් මඟින් ආණ්ඩුවක් පෙරළිය හැකි බවට වූ අදහස මතුව එන්නේ් 1961 වසරේදීය. ඒ එවක පැවති සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවට එරෙහිවය. ඒ වර්තමානයේ නොව, ඉතිහාසයේය. එය හෙළිවන්නේ විශ්වසනීය ආරංචිමාර්ග හරහා නොව සැකකටයුතු ආරංචිමාර්ග හරහාය. ඒ අනෙකෙකු හරහා ද නොව එවකට වූ පොලිස්පතිවරයකු හරහාය. එහෙත් මෙදා, හමුදා කුමන්ත‍්‍රණයක් මඟින් ආණ්ඩු පෙරළීමේ කුමන්ත‍්‍රණයක් පිළිබඳ වූ අදහස කරළිගත වන්නේ හුදු ආරංචිමාර්ග හෝ කටකතා හරහා නොව, ඊනියා විශ්වාසවන්තයන් හරහාද නොව, විශ්වසනීය පුද්ගල චරිත හරහාය. ඒ අනෙකෙකු හරහා නොව හිටපු හමුදාපතිවරයකුගේ මාධ්‍ය ලේකම් හරහාය.
මේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ මාධ්‍ය ලේකම් සංජීව සමරසිංහ හෙළිදරව්වය.

Q: සංජීව සමරසිංහ කියන්නේ කවුද?

සංජීව සමරසිංහ කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 25කට වැඩි කාලයක් කි‍්‍රයාකාරීව හිටපු පුද්ගලයෙක්. ඒ වගේම ලේක්හවුස් ආයතනයේ අවුරුදු 25ක් මාධ්‍යවේදියෙක් විදිහට වැඩකරලා එජාපයේ විවිධ වගකිවයුතු තනතුරු දරපු කෙනෙක්.

Q: මොනවද ඒ තනතුරු?

මම ජාතික සේවක සංගමයේ ලේක්හවුස් ශාඛාවේ ලේකම් හැටියටත් ජාතික සේවක සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙත් හිටියා. ඒ වගේම මම එක්සත් රාජ්‍ය මාධ්‍ය සේවක සම්මේලනයේ සභාපතිවරයා හැටියටත් කටයුතු කළා.

Q: එතකොට සංජීව සමරසිංහ ගිය අඟහරුවාදා හිටි හැටියේම මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වනවා තමන් ගත්ත කිසියම් දේශපාලන තීන්දුවක් ගැන ජනතාව දැනුවත් කරන්න. මොකද්ද මේ දේ කරන්න ආසන්නතම හේතුව?

සංජීව සමරසිංහ තමයි සරත් ෆොන්සේකා මහත්තයත් එක්ක දීර්ඝකාලයක් එකට හිටිය සිවිල් පුද්ගලයා හැටියට ඉතිහාස ගතවෙන්නේ. සාමාන්‍යයෙන් සරත් ෆොන්සේකා දන්න අය දන්නවා කිසිම කෙනෙක්ට එයත් එක්ක වැඩිකාලයක් ඉන්න බෑ. නමුත් මගේ මිත‍්‍ර මාධ්‍යවේදී සහෝදරයන් ගණන් හදලා මට කිව්වා ‘ඔයා තමයි සරත් ෆොන්සේකත් එක්ක දීර්ඝ කාලයක් හිටිය පුද්ගලයා’ කියලා.

Q: ඔය දීර්ඝ කාලයක් කියලා කියන්නේ කොච්චර කාලයක්ද?

අවුරුද්දයි මාස නවයක්.

Q: මොනවද ඔය දෙන්නා කළේ? එකට හිටියා කියන කතාව තව ටිකක් විස්තර කරන්න?

පසුගිය 2009 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තීරණය කළා පොදු අපේක්ෂකයා හැටියට සරත් ෆොන්සේකා මහත්තයව ගේන්න. මම එතකොට ජාතික සේවක සංගමයේ ලේකම්වරයා හැටියටත් එක්සත් රාජ්‍ය මාධ්‍ය සේවක සම්මේලනයේ සභාපතිවරයා හැටියටත් ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ තීරණය අපට දැනුම් දුන්නට පස්සේ අපි තීරණය කළා සරත් ෆොන්සේකා මහත්තයට සහයෝගය ලබාදෙන්න. පස්සෙ ඔහු මාව පෞද්ගලිකව කැඳවලා කිව්වා ‘සංජීව මට රාජ්‍ය මාධ්‍යයෙන් බරපතළ විදිහට ගහනවා. මේක මට උසුලන්න බැරිතරම් අමාරුයි. ඒ නිසා ඔයාට පුළුවන්ද රාජ්‍ය මාධ්‍යයේ බහුතර සේවක පිරිසක් ඉන්නේ මගෙත් එක්ක කියලා පෙන්නන්න’ කියලා.

Q: ඔය කියන්නෙ කොයි කාලෙද?

2010 ජනාධිපතිවරණය කාලේ. ඉතින් ලංකාදීප පත්තරේ සම්පූර්ණ පිටුවක් මේ සඳහා වෙන්කළා. එතකොට එදා එතුමාට විශාල පැහැදීමක් මම ගැන ඇති වුණා. මේ ආකාරයට කටයුතු කරලා එතුමා ඒ ඡුන්දෙන් පරාද වුණාට පස්සේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පළමු වැනි උද්ඝෝෂණය ලෑස්ති කළෙත් මම. එදා, තමයි එතුමාව අත්අඩංගුවට ගත්තේ. එතකොට පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඒ පුද්ගලයව අතහැරියා. නමුත් මම එතුමාව අතහැරියේ නෑ. මම දිගින් දිගටම එතුමත් එක්ක රැඳී හිටියා. ඒ වගේම උසාවියට ගේන හැම දවසකම මම එතැනට ගියා. ඊට පස්සේ එතුමා නිදහස් වුණාට පස්සේ එතුමා මට කියනවා ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාර ලේකම්වරයා විදිහට වැඩබාර අරගෙන මේ කටයුත්ත කරන්න කියලා. ඊට පස්සෙ මම එතුමත් එක්ක එතුමාගේ කාර්යාලයේ මේ වැඬේ පටන් ගන්නවා.

Q: සංජීව, එදා සරත් ෆොන්සේකා ළඟින්ම හිටිය සියලූ දෙනාම පාහේ අත්අඩංගුවට පත්වුණා. නමුත් සංජීව සමරසිංහ අත්අඩංගුවට පත්වෙන්නෙ නෑ. ඔබ කියන විදිහට ඔබ ඔච්චර ළඟින් සරත් ෆොන්සේකා ඇසුරු කළා නම් ඔබ කොහොමද බේරුනේ?

සරත් ෆොන්සේකා මහත්තයාව අත්අඩංගුවට අරගෙන දවස් දෙකකට පස්සේ, නන්නාඳුනන කණ්ඩායමක් මාව හොයාගෙන එනවා. මේ අය අතරමඟ එද්දී මට දුරකතන ඇමතුමක් එනවා ‘සංජීව අයියේ, ඇඳන් ඉන්න ඇඳුමපිටින් දරුවොත් එක්ක පනින්න’ කියලා මම එහෙම්ම වෙලෙන් එගොඩට පැනලා, හැතැම්ම 4ක් විතර, මගේ දරුවොත් අරගෙන මමයි මගේ බිරිඳයි දිව්වා. එහෙම දුවලා පන්සලක ශාලාවක තමයි මම නැවතුනේ. ඊට පස්සේ ලේක්හවුස් එකේ ඉන්න මගේ මිත‍්‍රයෙකුට මම කතාකරලා කිව්වා මට මෙහෙම ප‍්‍රශ්නයක් වුණා. දැන් මම මොකද කරන්න ඕන කියලා. මට හිතාගන්න බෑ කියලා. ඊට පස්සේ ඒ මනුස්සයා ඇවිත් අපිව එයාගේ ගෙදරට එක්ක ගිහින් මට ඒ අයගේ ගෙදර කාමරයක් දීලා, මාස දෙකක් මටයි මගේ දරුවන්ටයි කන්න දිදී තියාගෙන හිටියා.

Q: ඔය කියන කතාව ඇත්ත කියලා ඔප්පු කරන්න මොනවද තියෙන සාක්ෂි?

සාක්ෂි තමයි මෙහෙම ඉන්නකොට උපුල් ජයසූරිය මහත්තයා මට කතා කළා. කතා කරලා ඇහුවා සංජීව මොකද්ද ඔයාට ඇතිවුණු ප‍්‍රශ්නෙ සහ දැන් ඔයා කොහෙද ඉන්නෙ කියලා. මම කිව්වා මම අහවල් තැන ඉන්නෙ කියලා. එතකොට උපුල් ජයසූරිය මහත්තයා මට කිව්වා ‘රයිට් ඔයා, පොලිස් ආරක්ෂාව ඉල්ලලා පොලිස්පතිට ලියුමක් දාන්න. ඊට පස්සේ ඒ ලියුමට පබ්ලිසිටි එකක් දෙන්න’ කියලා. මම ඒ කිව්ව විදිහට කටයුතු කළා. ඊට සති දෙකකට විතර පස්සෙ රාගම පොලීසිය මට දුරකතනයෙන් කතාකරලා කිව්වා. ‘අපි පොලිස් ආරක්ෂාව ලබාදෙනවා, කරුණාකරලා ගෙදර එන්න’ කියලා. ඊට පස්සෙ තමයි මම ගෙදර ආවේ.

Q: සංජීව ඔබ කියන විදිහට ෆොන්සේකා හිරෙන් නිදහස් වෙලා එනතුරුත් ඔබ ෆොන්සේකා වෙනුවෙන් බලාගෙන හිටියා. ඊට පස්සෙ ඔහු ඔබට ආරාධනා කරන්නෙ ඔහුගේ මාධ්‍ය ලේකම් වෙන්න කියලා. ඔබ කියන විදිහට අවුරුදු 28ක් ඔබ එජාපයේ තනතුරු දරමින් එජාපය වෙනුවෙන් වැඩකරපු කෙනෙක්. එතකොට එජාපයෙන් බලපෑම් ආවේ නැද්ද ඔබ දිගින් දිගටම ෆොන්සේකත් එක්ක වැඩකරන්න යෑම ගැන?

එක්සත් ජාතික පක්ෂයෙන් කිව්වා, ඔය තෝරාගැනීම කරන්න එපා කියලා. ඒක පැහැදිලිවම ජාතික සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහත්තයා කිව්වා ඔය මෝඩ තීරණය ගන්න එපා කියලා. අදටත් ඒක ඒ මනුස්සයා කියනවා.

Q: එතරම් බලපෑම් කරලත් ඔබ ඇයි ඒ තීරණේ ගත්තේ?

එජාපයේ අර්බුදයක් තියෙනවනේ, ඔය අර්බුදෙත් එක්ක මට දැනුනා මේ විදිහට මේ පක්ෂය ඉදිරියට යන්න බෑ කියලා.

Q: ඒ මත ඉදිරියට යන්න පුළුවන් පක්ෂයක් විදිහට ඔබ ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පිළිගත්තා?

ඔව්, මොකද සමාජය තුළ තිබුණා වගේ මෙයා මේ යුද්දේ කරලා, මේ රට ගලවාගත් නිසා මෙයාට යම්කිසි ගමනක් යන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මගෙත් තිබුණා. මෙයා රටට සේවයක් කරයි, මොහුට රට ගැන කැක්කුමක් තියෙනවා කියන හැඟීම මටත් තිබුණා.

Q: ඔබ එජාපයේ අර්බුදය නිසා, එජාපයට අනාගතයක් නෑ කියලා හිතලා, අනාගතයක් තියෙනවා කියලා හිතලා සරත් ෆොන්සේකත් එක්ක එකතු වුණා. ඔබ දැන් හිතනවද ඒ ගත්ත තීරණය නිවැරැදියි කියලා? 

පැහැදිලිවම නෑ. මම එදා ගත්තේ මගේ ජීවිතේ වැරැදිම තීන්දුව.

Q: ඔබ කිව්වා, ඔබ හිතුවා කියලා සරත් ෆොන්සේකා රට බේරගත්ත වීරයා නිසා, ඔහුට රට සම්බන්ධයෙන් නිවැරැදි දැක්මක් තියෙනවා කියලා. තාමත් ඔබ හිතනවද ඒක එහෙමයි කියලා?

පැහැදිලිවම නෑ.

Q:ඇයි එහෙම හිතන්නෙ? හිතන්නේ?

ඔහුත් එක්ක වැඩිම කාලයක් හිටිය පුද්ගලයා හැටියට, ඔහුත් එක්ක සමීපවම කටයුතු කරපු පුද්ගලයා හැටියට මට ඔහුගේ හැඟීම් තේරුම්ගන්න පුළුවන්කම ලැබුණා. ඒ මම හිතුවා මේ පුද්ගලයට කවදාහරි දවසක මේ විපක්ෂ බලවේග ඔක්කෝම ටික ඒකරාශි කරගෙන යන්න පුළුවන් කියලා. ඒ වගේම මගේ විශ්වාසයක් තිබුණා සරත් ෆොන්සේකා මහත්තයා කොයි වෙලාවක හරි එජාපයත් එක්ක එකතුවෙයි කියලා.

Q: සංජීව දැන් බළලා මල්ලෙන් එළියට පැන්නා නේද? ඔබ හිතාගෙන හිටියා ෆොන්සේකා කවදාහරි එජාපයට එයි කියලා. ඒක නොවන තැන ඔබ දැන් එළියට ඇවිල්ලා ෆොන්සේකවත් ඔහුගේ දේශපාලන ව්‍යාපාරයත් විනාශ කරන්න කුමන්ත‍්‍රණය කරනවා?

නෑ. මම එහෙම කුමන්ත‍්‍රණයක් කොයි වෙලාවෙවත් කළේ නෑ. ඔහුව එජාපයට ගන්න නෙවෙයි, මේ ආණ්ඩුව පෙරළා දමන්න නම් මේ රටේ ඉන්න සියලූම විපක්ෂ බලවේග ඒකරාශි විය යුතුයි කියන තැන තමයි මම හැමදාමත් හිටියේ. නමුත් මොහුත් එක්ක කාලය ගත කරද්දී මොහුගේ අදහස් මට තේරෙද්දී මට වැටහුණා මම ජීවිතේ ගන්න ඕන ඉතාම වැරැදි තීන්දුව මම අරගෙන ඉන්න බව.

Q: නමුත් සංජීව, ඔබ මේ මැතිවරණයක් කටේ තියාගෙන විශාල ආන්දෝලනයක් කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් එළියට බැසීම තුළ උත්සහ කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ සහ එහි නායකයාව සමාජය තුළ කුජීත කරන්න නෙවෙයිද?

පැහැදිලිවම නෑ. මේක මම ඔබට පැහැදිලිවම කිව්වා. මේ සම්බන්ධය නිසා මම දීර්ඝ කාලයක් තිස්සේ මානසිකව විඳපු පීඩාව.

Q: ඔය කියන තරම් මානසික පීඩනයක ඔබ හිටියානම්, ඒ කියන්නේ ඔබ අවුරුදු 1 1/2ට ආසන්න කාලයක් මානසික පීඩනයක ඉඳලා තියෙනවා. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මේ ලොකු මැතිවරණයකට මුහුණ දෙන්න ඉන්න කට උඩ, ඇයි මේ එකපාරටම අයින් වෙන්නේ?

අයින් වෙන්න හේතුව පසුගිය පෙබරවාරි 6 වැනිදා තමයි මම නැවත මේ පක්ෂ කාර්යාලයට එන්නෙ නෑ කියලා තීරණේ කළේ.

Q: ඇයි ඒ?

හේතුව, 6 වැනිදා ඇතිවෙච්ච සිද්ධියක්. ඉදිරි ප‍්‍රධාන රැුස්වීම් 91ක් තීරණය කරලා තියෙද්දී එතකොට මේ රැස්වීම්වල වගකීම කිසියම් ප‍්‍රමාණයකට මට තියෙනවා. මොකද සංවිධායකවරුන්ගේ සම්බන්ධීකාරක විදිහට පත් කරලා තිබුණෙත් මාව. එතකොට ඔහු එදා පැය 1 1/2ක් විතර මේ සම්බන්ධව මාත් එක්ක සාකච්ඡුා කළා. සාකච්ඡුාව අවසානයේදී පෙබරවාරි 6 වැනිදා රාත‍්‍රී 8.00 විතර මෙයා මගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා, ‘සංජීව මේ මැතිවරණයට සතියක් දෙකක් තියෙද්දී අපි මේ මැතිවරණයෙන් ඉවත් වුණොත් ඔයා මොකද හිතන්නෙ’ කියලා. මම කිව්වා එහෙම කළොත් ඔක්කොටම ඉස්සරවෙලා සියලූම සංවිධායකවරුන්ට වහ බෝතල් ගාණේ දෙන්න, එකක් මට දෙන්න කියලා. එතකොට මගෙන් ඇහුවා ‘ඇයි’ කියලා. මේ සංවිධායකවරු තෝරා ගැනීමේදී මේකෙ ඉන්ටර්විව් බෝඞ් එකක් නෑ. තනිකරම ඒකාධිපතියෙක් විදිහට තමයි මෙයා මේ සියලූ කටයුතු කරන්නෙ. මේ පක්ෂයේ විවිධ තනතුරුවල යම් යම් පුද්ගලයෝ හිටියට ඔවුන් ඉන්නේ නාමිකව විතරයි. මේ පක්ෂයේ බලය විමධ්‍යගත කරලා නෑ. එතකොට මේකෙ තීන්දු ගන්නෙත් මොහු. තීන්දු කි‍්‍රයාත්මක කරන්නෙත් මොහු. තීන්දුවලට අණ දෙන්නෙත් මොහු. එතකොට මෙතැන ප‍්‍රශ්නෙ තියෙන්නේ මොහුට දේශපාලන අවබෝධයක් සහ විඥානයක් නෑ. ඔහු අපේක්ෂකයන් ඉන්ටර්විව් එකට කැඳවනවා. ආපු ගමන් කියනවා හරි ඔයාට මම දෙන්නම් අවිස්සාවේල්ල ආසන සංවිධායකකම. දැන් මේ එන මනුස්සයා හොල්මන් වෙලා එළියට යන්නෙ. මොකද එයා එන්නේ මහ දැවැන්ත පුරුෂයෙක් ගාවට, දැවැන්ත පක්ෂයක් ගාවට. මේ එන පුද්ගලයා හිතනවා, ඉන්ටර්විව් එකේදී මගේ අධ්‍යාපන සුදුසුකම් අහයි, වෙනත් සුදුසුකම් අහයි, මාව පරීක්ෂාවට ලක් කරයි. ඊට පස්සේ පක්ෂයේ බුද්ධි අංශ කණ්ඩායමක් ගෙවල්වලට ගිහින් පරීක්ෂා කරයි. නමුත් එහෙම මොනවත් මෙතැන සිද්ධ වෙන්නේ නෑ. ආපු ගමන් දුන්නා පත්වීම. දීලා ඊට පස්සේ තවත් කවුරු හරි අවිස්සාවේල්ලෙන් ආවම කියනවා ඔයා මීට ටිකකට කලින් ආව නම් හරි දැන් පොඞ්ඩකට ඉස්සරවෙලා මම සංවිධායකකම දුන්නා කියලා. ඒ නිසා මම ඔයාට සම සංවිධායකකම දෙන්නම් කියලා කියනවා. සමහර වෙලාවට අතිශයෙන් සුදුසු පුද්ගලයෝ ආවොත් එයාටත් දෙනවා සංවිධායකකම. එහෙම එකම ආසනේ මම හිතන්නේ ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ගත්ත නරකම තීන්දුව ගත්තෙත් මේ පක්ෂය. ඒ කියන්නේ එකම ආසනේ ප‍්‍රධාන සංවිධායකවරු දෙන්නෙක් ඉන්නවා.

Q: උදාහරණයක් දෙන්න?

අවිස්සාවේල්ල ආසනේ. අවිස්සාවේල්ල ආසනේට මුලින්ම ආව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සීසර් රණවීර කියලා මහත්තයෙක්. එතුමා ඇවිල්ලා අවිස්සාවේල්ල ආසනේ සංවිධායකකම ගත්තා. ඊට පස්සේ ආවා එජාපයේ නිමල් ආර්. පීරීස්. දැන් නිමල් ආර්. පීරීස්ව තියන්න බෑනේ සම සංවිධායක හැටියට, මට කිව්වා දෙන්නම තියන්න කියලා. මම කිව්වා සර්, මේක විහිළුවක් කියලා. එතකොට කියනවා ‘නෑ, නෑ, නෑ මමනේ කියන්නේ ඔයා තියන්න’ කියලා. ප‍්‍රධාන සංවිධායකවරු දැන් බුරුතුපිටින්. ඕක තමයි වුණේ.

Q: ඔබ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ඉන්න සංවිධායකයෝ බහුතරයකට සුදුසුකම් නෑ කියලද?

නෑ…. නෑ…. සුදුසුකම් තියෙන පුද්ගලයොත් ඉන්නවා. අවංක මිනිස්සු ඉන්නවා. ඒ අවංකකම තිබුණට ඔවුන්ට ඇත්තටම මේ දේශපාලන කටයුතු කරගෙන යෑමේ හැකියාවක් නෑ. සමහර අය ජීවත්වෙන්නවත් බැරි තරම් අන්ත අසරණයි. ඉතින් මේගොල්ලෝ කොහොමද ආසනයක් සංවිධානය කරන්නේ?

Q: ඔබ කියනවා සරත් ෆොන්සේකාට කිසිම දේශපාලන දැනුමක්, විඥානයක් නෑ කියලා. අවුරුදු 1 1/2ක් ඔහුත් එක්ක ඉඳලත් ඇයි ඔබ උත්සහ නොකළේ ඔහුට ඒ දේශපාලන දැනුම, විඥානය දෙන්න?

මම උත්සහ කළා. ඒකට මම විද්වතුන්, බුද්ධිමතුන් ඊළඟට වෘත්තියෙන් ඊට පස්සේ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන්, වෛද්‍යවරුන්, කථිකාචාර්යවරුන් වගේ උදවිය ගෙනැල්ලා මම උත්සහ කළා මේ පක්ෂයට සමාජ කතිකාවතක් හදන්න පුළුවන් පුද්ගල කමිටුවක් හදන්න. ඒක හදලා ඔහුට උපදෙස් දෙන්න. නමුත් මේ ඔක්කෝම කරලා ඉවර වුණාට පස්සේ සරත් ෆොන්සේකා මහත්තයා කිව්වා, ‘මේ යක්කුන්ට පිස්සු. මේ මිනිස්සු කියන දේවල් මේ ජනතාව පිළිගන්නේ නෑ’ කියලා.

Q: එතකොට ඔබ පිළිගන්නවාද ෆොන්සේකාට උපදෙස් දෙන්න ඔබ ගෙනාවේ පිස්සෝ ටිකක් කියලා?

පැහැදිලිවම නෑ. ඒ මිනිස්සුන්ට පිස්සු නම් මම ඒ මිනිස්සුන්ව එකතු කරන්නේ නෑනේ මේ පක්ෂෙට.

Q: මට මතකයි 2010 ජනාධිපතිවරණය සමයේ සරත් ෆොන්සේකාට විරුද්ධව රාජ්‍ය මාධ්‍ය මෙහෙයුමක් දියත් කළා. ඔහු මානසික විකෘති භාවයකින් පෙළෙන්නෙක්, උම්මන්තකයෙක්, කොටින්ම කිව්වොත් පිස්සෙක් කියලා. එතකොට අද ඔහු කියනවා ඔහුට උපදෙස් දෙන්න ඔබ ගේන මිනිස්සුන්ට පිස්සු කියලා. ඔබ හිතන්නේ ඇත්තටම පිස්සු කාටද?

පැහැදිලිවම සරත් ෆොන්සේකා මහත්තයා මානසිකව විශාල ආතතියකට ලක්වෙලා ඉන්න මිනිහෙක්. මම හිතන්නේ මේක මේ යුද්දෙන් පස්සේ කතිකාවක් ගොඩනැගුණා යුද්දෙට සම්බන්ධව හිටපු සොල්දාදුවන්ව පුනරුත්ථාපනය කළ යුතුයි කියලා. ඇත්තටම මම හිතනවා සරත් ෆොන්සේකා මහත්තයාව පුනරුත්ථාපනය කළ යුතුමයි කියලා.

Q: එතකොට සරත් ෆොන්සේකා, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා කියන විදිහට පුනරුත්ථාපනය විය යුතු දේශපාලන නායකයෙක්. ඒ වගේම ඔබ කියන විදිහට එදා වේලවත් යැපෙන්න බැරි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ අහිංසක සංවිධායකවරු කනකර උකස් කරලා, දස අතේ ණය වෙලා, පෝස්ටර් ගහලා, රැස්වීම් තියලා, ඡන්දෙට කැම්පේන් කරගෙන යනකොට ඒ ගැන වගේ වගක් නැතුව සරත් ෆොන්සේකා ඔබට කතාකරලා අහනවා ඡන්දෙට සති දෙකක් තියලා මේ කැම්පේන් එකෙන් විත්ඩ්‍රෝ වුණොත් මොකද වෙන්නේ කියලා. එතකොට ඔබ ඔහුගෙන් ඉල්ලනවා වහ. ඊට පස්සෙ ඔහු මොකක්ද කිව්වේ?

ඔහු කිව්වා, කරන්න දෙයක් නෑ සංජීව. මට මිනිස්සුන්ගේ ඡුන්දය ගැන කිසිදු විශ්වාසයක් නෑ. දැන් මට අවුරුදු 63ක් වෙනවා. තවදුරටත් මේ ක‍්‍රියාවලිය මේ විදිහට ගියොත් අපට දැන් ඉන්නේ පළාත් සභා මන්ත‍්‍රීවරු 5 දෙනයි. මේ ආණ්ඩුව මහා සාගරය වගේ. එතකොට මේක පෙරළලා දාන්න නම් අපි වෙන ප‍්‍රායෝගික ක‍්‍රියාවලියකට යා යුතුයි කියලා.

Q: ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කිසිම විශ්වාසයක් නෑ?
පැහැදිලිවම.

Q: ඒ නිසාද ඔබට භීතියක් ඇතිවෙන්නේ මොහුත් එක්ක වැඩ කරන්න බෑ කියලා?

භීතිය ඇතිවෙන්නේ ඊට කලින්. භීතිය ඇතිවෙන්නේ මේ පුද්ගලයා ළඟ තියෙනවා දැඩි වෛරයක්. මම ඒකයි කියන්නේ ඔහු පුනරුත්ථාපනය කළ යුතුයි කියලා. දැන් මෙයාව අත්හැරලා ගිය පුද්ගලයෝ ඉන්නවානේ. එක්කෙනෙක් ටිරාන් අලස්. එක්කෙනෙක් අර්ජුන රණතුංග. මේ දෙන්නම මිහිපිට තබාගත යුතු නෑ කියන තැන මෙයා ඉන්නවා. එතකොට මෙයාව හිරේ දාපු රාජපක්‍ෂ පවුල සමූල ඝාතනය කළ යුතුයි කියන තැන මෙයා දැඩිව ඉන්නවා. එතකොට මෙයාට කේන්ති ගියාම ඒ චරිත මතක් වෙනකොට වෙවුලනවා මේ මනුස්සයා. මට බයක් ඇතිවුණා මේ මනුස්සයා ජනාධිපති වුණොත් එහෙම අපෙන් වැරැද්දක් වුණොත් අපිවත් වෙඩි තියලා මරලා දාන්න පුළුවන්.

Q: දැන් ඔබ කියනවා මෙයා බැරි වෙලාවත් ජනාධිපති වුණොත් අපටත් වෙඩි තියයි කියලා. නමුත් 2010දී ඔයගොල්ලෝ උත්සහ කළේ ඒ වගේ විකෘති මිනිහෙක් මේ රටේ ජනාධිපති කරන්නද? එතකොට එයාට ජනාධිපති වෙන්න බැරි වුණු තැන ඔබ කොටුවේ උද්ඝෝෂණයක් කරනවා. අද මොකද ඔබ කියන්නේ? එයා ජනාධිපති නොවුණේ ඔබෙත් මේ රටේ ජනතාවගේ වාසනාවටයි කියලද දැන් ඔබ කියන්නේ?

පැහැදිලිවම. මම විතරක් නෙවෙයි, ඔහුත් එක්ක ඉන්න බහුතරයක් කියන්නේ ඒක තමයි. මෙයාගේ ළඟින්ම ඉන්න ඉතාමත්ම වගකිව යුතු පුද්ගලයෝ අදයි කියන්නේ මෙයා බැරි වෙලාවත් ජනාධිපති වුණොත් අම්මට සිරි වෙයි කියලා.

Q: එතකොට සරත් ෆොන්සේකා කියන්නේ ඡන්ද බලය ගැන මට විශ්වාසයක් නෑ, ආණ්ඩුව පෙරළන්න නම් වෙන විකල්පයකට යන්න ඕන කියලා. මොකක්ද ඒ කියන විකල්පය?

විකල්ප දෙකක් මෙයාගේ ඔළුවේ කැරකෙනවා. එකක් තමයි මෙයා කියනවා යම්කිසි වෙලාවක හමුදාව තුළ කැරැල්ලක් ඇතිවෙයි කියලා. එයා ඒකට උදාහරණයක් විදිහට හැම තිස්සේම පෙන්වනවා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කර්නල් වෙලා ඉන්නකොට සොල්දාදුවෙක් එයාට එරෙහිව කැරැල්ලක් ඇති කරලා ඉන්න වෙලාවේ එයයි, නීල් ඩයසුයි ගිහිල්ලා තමයි ඒ කැරැල්ල මැඩපැවැත්තුවේ කියලා. එයා හිතනවා යම්කිසි විදිහකින් ආයිත් ඒ වගේ කැරැල්ලක් ඇතිවෙයි කියලා. ඊළඟට මේ මැතිවරණයෙන් ඉවත්වීම තුළින් මෙයා බලාපොරොත්තු වෙනවා, යම්කිසි විදිහකට රට අර්බුදයට ගිහිල්ලා ඉවරවෙලා, කොයි වෙලාවක හරි ඇමෙරිකාව ඇවිල්ලා මෙයාව බුෂ් ගාලා ජනාධිපති පුටුවේ වාඩි කරවලා මෙයාට මේ රට බාරදෙයි කියලා.

Q: සරත් ෆොන්සේකා ඡන්දෙන් අයින් වුණාම කොහොමද රටේ කැළැඹීමක් ඇතිවෙන්නෙ. ඒක පැහැදිලි කරන්න?

රටේ කැළැඹීමක් නෙවෙයි, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නෑ. මේ රටේ ඉන්න විපක්ෂයේ පක්ෂයකට මැතිවරණයකටවත් ඉදිරිපත් විය හැකි පුළුවන්කමක් නෑ කියන පණිවුඩය ලෝකෙට දීලා මේ වගේ අර්බුද හදන එක හරි උපක‍්‍රමශීලීව එයා කරනවා. එතකොට මෙයා දකුණේ අර්බුද ඇතිවෙයි කියලා හිතන තැන්වල රැස්වීම් තියන්න හදනවා. ඊට පස්සෙ ඒ වගේ තැන්වල අර්බුද ඇතිවුණු ගමන් මෙයා යනවා එතැනට. ඊට පස්සෙ එතැන අර්බුදයක් ඇතිවුණා කියලා ලොකු ප‍්‍රචාරයක් කරනවා, මේ රටේ රැස්වීමක්වත් තියාගන්න විදිහක් නෑ කියලා. දැන් ඔය බොරැල්ලේදී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට හූ කියලා බෝතල්වලින් ගැහුවෙත් ඒ වගේ සැලැස්මක් ඇතිව.

Q: මොකක්ද ඒ කතාව. එතකොට දෙමටගොඩදී දුමින්ද සිල්වාට හූ කියලා බෝතල්වලින් ගැහුවේ සරත් ෆොන්සේකාද?

පැහැදිලිවම ඔව්. එයාගේ හෙංචයියෙක් වෙන කොලොන්නාවේ විපුල කියන කෙනාව එවලානේ ඔය දේ කළේ.

Q: සංජීව දැන් ඔයා කියන විදිහට ෆොන්සේකා මහත්තයා හිතනවා ජාත්‍යන්තරයට රට ගැන වැරැදි පණිවුඩයක් යවලා ඒ හරහා ජාත්‍යන්තර සහයෙන් රටේ බලය අල්ලන්න. එතකොට ගැටලූව වන්නේ, රනිල් වික‍්‍රමසිංහ වගේ රාජතාන්ත‍්‍රිකයෙක් විපක්ෂ නායක ලෙස ඉන්නකොට සරත් ෆොන්සේකා කොහොමද කියන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ ජාත්‍යන්තරය රනිල්ව එතැනට ගෙනියන්නේ නැතිව, ෆොන්සේකාව එතැනට ගෙනියයි කියලා?

මම ඒකයි කලිනුත් කිව්වේ ඇත්තටම මෙයාව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන්න ඕන කියලා.

Q: හොඳයි, එතකොට දැන් ඔය පක්ෂය වෙනුවෙන් කැපවෙලා වැඩ කරන, මේ කතාකරන මොහොතෙත් ඔය පක්ෂය ජයග‍්‍රහණය කරවන්න දරදිය අදින මේ සංවිධායකවරු දන්නෙ නැද්ද තමන්ගේ නායකයා මේ ගන්න යන තීන්දුව ගැන?

පැහැදිලිවම දන්නෙ නෑ. නමුත් මේ ගන්න යන තීන්දුව ගැන කිහිපදෙනෙකුට දැනිලා තියෙනවා. එක වෙබ් සයිට් එකක මේ ගැන මෙයා ප‍්‍රකාශයක් කරලා තිබුණා. ඒ වගේම එක්තරා ඉරිදා පත්තරේක මුල් පිටුවේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියෙන් මේ ගැන ඉඟියක් කරලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි මේ පුද්ගයාත් එක්ක සංවිධායකයන්ට වැඩ කරන්න බෑ. හම්බවෙන්න බෑ. කතාකරන්න බෑ. අනෙකුත් පක්ෂ රැස්වීමක් සංවිධානය කරන්න ආසනයකට දුන්නට පස්සෙ ඒ ආසනයේ සංවිධායක තමයි රැුස්වීම තියන ස්ථානය තීරණය කරන්න ඕන. නමුත් මොහු සිතියමෙන් බලලා ස්ථානය දෙනවා. වයඹ, මධ්‍යම තනිකරම කළේ එහෙම. සිතියමේ පෙන්නන්නේ නෑනේ මේක ජනාකීර්ණ තැනක්ද මොකක්ද කියන එක. මේ වගේ සිතියමෙන් බලලා තීරණය කරපු සමහර තැන් කැලෑ. එහෙම නැත්නම් වගුරු. නමුත් මෙයාට ඒ වගේ තැන්වල ප‍්‍රශ්නේ කිව්වට වැඩක් නෑ. එයා හිතුව විදිහට අනිවාර්යයෙන්ම තියන්න ඕන කියන තැන එයා ඉන්නවා. මේ ඊයේ පෙරේදා මොරටුවේ වුණා ඒ වගේ ප‍්‍රශ්නයක්. මොරටුව ආසන සංවිධායක මට කතා කරලා කිව්වා, සංජීව මහත්තයා, මේ කියන විදිහට සිතියම්වලින් බලලා රැස්වීම් තියෙන තැන් තීරණය කරන්න බෑ කියලා. එතකොට මම මේ තත්ත්වය එතුමාට කිව්වාම එයා කියනවා, ඔයා කොහොමද එහෙම කියන්නේ? මම සිතියමෙන් බලලා තමයි යුද්ධ කළේ. ඔයා මට දේශපාලනේ උගන්නන්න එනවාද? කියලා මගෙන් අහනවා. ඉතින් මම කිව්වා හා හරි ඔයා කරන දේ කරන්නකෝ කියලා. ඉතින් අන්තිමට මොරටුවේ ඒ විදිහට තැනක් තෝරගත්තා. සංවිධායකට තැන කිව්වාම ඒ මනුෂ්‍යා කිව්වා මෙතැන රැස්වීම් තියන්න බෑ බල්ලෙක්වත් නෑ කියලා. අන්තිමේදී මම කිව්වා දැන් කරන්න දෙයක් නෑ. මෙයා මගේ ඇඟට කඩාගෙන පනිනවා ඕක කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම මෙතැන තිබිය යුතුයි කියලා කියනවා. මට කරන්න දෙයක් නෑ.

ඔයා කියන විදිහට තියන්න කියලා, අන්තිමට රැස්වීම තිබ්බා, අපි මෙහෙන් අරගෙන ගිය කට්ටියත් එක්කම ඔක්කෝම හිටියේ 60යි රැස්වීමට. හැබැයි ලක්ෂයට ආසන්න මුදලක් වියදම් වෙනවා රැස්වීමක් තියනකොට. ඒ තියනකොටත් ප‍්‍රශ්නෙ තියන්නේ, දැන් ආසනයකට ඉන්නවා සම සංවිධායකවරු දෙන්නෙක් සංවිධායකයෙක්. එතකොට මේ ලක්ෂය වියදම් කරන්නේ මේ තුන්දෙනා බෙදාගෙනනේ. එතකොට සම සංවිධායකවරු දෙන්නට කතා කරන්න පුළුවන් එක්කෙනාට විනාඩි පහ ගානේ විනාඩි 10යි. ඊට පස්සෙ සංවිධායකයාට කතාකරන්න පුළුවන් විනාඩි 10යි. ඒ විනාඩි 10 පැන්න ගමන් අමු අශිෂ්ට භාෂාවෙන් ඔවුන්ට බැනලා, ඔවුන්ට වේදිකාවෙන් බැහැලා යන්න කියනවා. මේක සියලූ සංවිධායකවරුන් අතර මේ වෙනකොට ප‍්‍රසිද්ධ රහසක් වෙලා ඉවරයි.

Q: කොහෙන්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට මුදල්? ඔය කියන විදිහට එක රැස්වීමකට ලක්ෂයක් වියදම් කරනවා නම් තවත් රැස්වීම් 92ක් කරන්න සැලසුම් කළා නම් දළ වශයෙන් ගත්තොත් ඔය රැස්වීම් ටිකට විතරක් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවෙනවානෙ?

ඔහුට මුදල් එනවා.

Q: කොහෙන්ද එන්නේ? පැන්ෂන් එකත් නැහැ. ජීවත්වෙන්න මාර්ගයකුත් නෑ කියපු, ඉන්නේ කුලියට කියපු ෆොන්සේකාට කොහෙන්ද සල්ලි එන්නේ?

ඔහු මේ රටේ ජනතාව රවට්ටන්න උත්සහ කරන ප‍්‍රධාන පෙළේ දේශපාලන චරිතයක්. කවුරු හරි කියනවා නම් ඔහුට ඉන්න තැනක් නෑ කියලා, ඒක අමූලික බොරුවක්. ඔහු දැනට ඉන්නේ සංජීව රණතුංගගේ ගෙදර. හැබැයි ඒ මේ රටට පේන්න විතරයි. නමුත් මෑතකදී මිලියන ගාණක් දීලා ඉඩමක් ගත්තා. ඒකේ සුපිරි පැළැන්තියේ ගෙයක් හැදෙනවා. හැබැයි ඒ ඔහුගේ නමින් නෙවෙයි.

Q: කොහේද මේ ගේ හදන්නේ?

බෝකුන්දර. ඒ වගේම ඔහු ව්‍යාපාර ගණනාවකට සල්ලි යොදවලා තියෙනවා. හැබැයි මේ පක්ෂයට එන සල්ලි තමයි මෙයා මේ විදිහට යොදවලා තියෙන්නේ.

Q: කොහෙන්ද පක්ෂයට සල්ලි එන්නේ?

දේශීය ව්‍යාපාරිකයොත් යම් යම් මට්ටමෙන් මොහුට උදව් කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ජාත්‍යන්තර වශයෙන් ඔහුට විශාල මුදලක් ලැබෙනවා.

Q: හොඳයි ඔබට වැටුප් ගෙව්වේ කවුද?

මට වැටුප් ගෙව්වේ දේශපාලන පක්ෂයට සම්බන්ධ වෙලා හිටිය ව්‍යාපාරිකයෝ.

Q: කාලයක් ශිරාල් ලක්තිලකත් ඔබට වැටුප් ගෙව්වනේ?

ශිරාල් දැන් ගෙවන්නේ නෑ.

Q: කොයි කාලේද ශිරාල් ගෙවන එක නැවැත්තුවේ?

මේ පක්ෂය ලියාපදිංචි කළාට පස්සේ ශිරාල් ගෙව්වේ නෑ මට.

Q: ඇයි එයා ඒ ගෙවීම් නැවැත්තුවේ?

නැවැත්තුවේ කියන්නේ. ශිරාල් ලක්තිලකට තමයි පැහැදිලිව වුවමනාවක් තිබුණේ මේ පක්ෂයට සංවිධානයක් හදන්න. ඇත්තටම ඔහු සැබැවින්ම මේ පක්ෂය කවදා හරි මේ රටේ බලය ගන්න පුළුවන් තැනට එන්න ඕන කියන අධිෂ්ඨානයෙන් හිටිය එක පුද්ගලයෙක්. මම එදා ලේක්හවුස් එකෙන් අයින්වෙලා, වෙනත් පෞද්ගලික ආයතනයක හොඳ වැටුපකට යන්න සූදානම් වෙද්දී ශිරාල් කිව්වා, සංජීව මේ රටට හොඳක් කරන්න අපි දුෂ්කර ජීවිතයක් ගතකරමු. මම ඔයාට ඔය ලැබෙන්න යන වැටුපෙන් භාගයක් ගෙවන්නම්. අපි එකතුවෙලා මේ වැඬේ කරමු කියලා. එතකොට මේ පක්ෂයට සංවිධානයක් ගොඩනගන්න ජාතික පවුර කියන නම මගේ ඉස්සරහා තමයි ඔහු කොළයක් අරගෙන ඔහුගේ පෑනෙන් ලිව්වේ. ඔහුට ඒ තරම් වුවමනාවක් තිබුණා. ශිරාල් හැමතිස්සේම කිව්වේ පක්ෂ කාර්යාලයක් වුණාම මිනිසුන්ට මේකෙ නිතරම ගැවසෙන්න නිදහස තියෙන්න ඕන. ඔවුන්ට බුලත් විටක් කාලා ගැවසෙන්න ලැබෙනකොට තමයි මිනිස්සුන්ට දැනෙන්නේ මේක තමන්ගේ තැනක් කියලා යන අදහසේ ඔහු හිටියා. නමුත් එතැන කවදාවත් හමුදා කඳවුරක් මිසක් පක්ෂ කාර්යාලයක් හැදුණේ නෑ. කවුරුහරි මිනිහෙක් ඇවිත් සැටියේ වාඩි වුණොත් මොකද වාඩිවෙලා ඉන්නේ කියලා පන්නලා දානවා නම් මේක පක්ෂ කාර්යාලයක් වෙන්නෙ නෑ. මේක දැක්ක ශිරාල් බොහොම කලකිරුණා. අවසානයේදී කිහිපදෙනෙක් යෝජනා කළා මේ පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාතට ශිරාල් ලක්තිලකව ඉදිරිපත් කරන්න ඕන කියලා. ඊට පස්සේ ඒක මම ගිහිල්ලා ෆොන්සේකා මහත්තයාත් එක්ක කතා කළා. එතකොට ඔහු මට කිව්වා ශිරාල් ලක්තිලකට කියන්න ඇවිල්ලා සති දෙකක් මගේ වැසිකිළිය හෝදන්න කියලා. එතකොට මම සලකා බලන්නම් කිව්වා. ඒ තරම් පහත් මානසික මට්ටමක මේ පුද්ගලයා ඉන්නේ. අඩු කළයක් මේක.

Q: එතකොට ශිරාල් ඇවිත් නාමයෝජනා ඉල්ලූවාද?

නෑ, ඔහු ඉල්ලූවේ නෑ. නමුත් ශිරාල් මහත්තයා එක්ක හිටපු කිහිපදෙනෙක් යෝජනා කළා ශිරාල් මහත්තයා හිටියොත් හොඳයි කියලා. ඇත්තටම මගේ ලොකු අදහසක් තිබුණා, පක්ෂයට ලොකු ගැම්මක් ගන්න තිබුණා අනෝමා ෆොන්සේකා මහත්මිය සහ ශිරාල් ලක්තිලක කියන මේ චරිත දෙක මේ මැතිවරණයට දාගන්න පුළුවන්කම තිබුණා නම් මෙහි බල කඳවුරක් පිහිටුවන්න අපිට හැකියාව තිබුණා.

Q: ශිරාල්ට සති දෙකක් වැසිකිළිය හෝදන්න කිව්වනේ. එතකොට අනෝමා ෆොන්සේකාව ඇයි දැම්මේ නැත්තේ?

ඔබ හොඳ ප‍්‍රශ්නයක් ඔය අහන්නේ. අනෝමා ෆොන්සේකා මැතිනිය දැම්ම නම් ඇත්තටම මේ බස්නාහිර පළාතේ ඇත්තමයි ලොකු වෙනසක් කරන්න තිබුණා. බස්නාහිර සියලූම අපේක්ෂකයෝ බලාපොරොත්තු වුණා. අවසාන මොහොත දක්වාම බලාපොරොත්තු වුණා. කොයි මොහොතක හරි අනෝමා ෆොන්සේකා මැතිනිය බස්නාහිර පළාතේ ප‍්‍රධාන අපේක්ෂිකාව විදිහට එයි කියලා. එතුමියටත් තිබුණා මම හිතන විදිහට ඒ ගැන ආසාවක්, කැක්කුමක්. ඇය දෙසැම්බර් මාසේ මම දැක්කා දිනපතා පුවත්පත් කිහිපයකටම දීලා තිබුණා අවස්ථාවක් ලැබුණොත් ඉල්ලීමක් ලැබුණොත් මං ඉදිරිපත් වෙනවා කියන එක. එතකොට පසුගිය සති දෙකකට පෙර ඉරිදා පත්තරේක මෙයාගේ ඉන්ටර්විව් එකක් තිබුණා. ඒ ඉන්ටර්විව් එකේදී මාධ්‍යවේදියා සරත් ෆොන්සේකා මහත්තයාගෙන් ප‍්‍රශ්නයක් අහනවා, ‘ඔබ අනෝමා ෆොන්සේකා මැතිනියව ඉදිරිපත් කරන්නෙ නැත්තේ ඇය ඔබව ඉක්මවා යයි කියන බයටද’ කියලා.

Q: ඒ කියන්නේ සරත් ෆොන්සේකාට වඩා ජන පදනමක් අනෝමාට තියෙනවා?

තියෙනවා. පැහැදිලිවම තියෙනවා. විතරක් නෙමෙයි ඇය හැම කෙනෙක් එක්කම සුහදව ඉන්න උත්සහ කරන කෙනෙක්.

Q: ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ජන පදනමක් තියෙනවද?

ජන පදනමක් යම්කිසි මට්ටමකින් තියෙනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුද පවතින නිසා එක්සත් ජාතික පක්ෂය සීසීකඩ කැඩිලා තියෙන නිසා, එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ හුඟක් හිතනවා එක්සත් ජාතික පක්ෂයට සහ ආණ්ඩුවට යම්කිසි පාඩමක් උගන්නන්න නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ඡන්දෙ දිය යුතුයි කියලා. හැබැයි ඒක පසුගිය දිනක සරත් ෆොන්සේකා මහත්තයා කරපු ප‍්‍රකාශයක් නිසා, සම්පූර්ණයෙන් විනාශ වුණා.

Q: මොකක්ද ඒ ප‍්‍රකාශය?

ප‍්‍රකාශය තමයි ‘ප‍්‍රභාකරන්ගේ මයිලක් තරම්වත් මහින්ද රාජපක්‍ෂ වටින්නෑ’ කියන එක. එතකොට මේ ප‍්‍රකාශය බරපතළ ප‍්‍රකාශයක් හැටියට තමයි මිනිස්සු දැක්කේ. අපේ ගමේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ, ඊළඟට රණවිරුවෝ මේගොල්ලෝ කතිකා කරගෙන හිටියා, මගෙත් එක්ක සාකච්ඡුා කළා, මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව යන ගමන නතර කරන්න නම් ෆොන්සේකා මහත්තයට දෙන්න ඕන කියලා. නමුත් මේ ප‍්‍රකාශයත් එක්ක සම්පූර්ණයෙන්ම මේ මතයෙන් ඒ අය බැහැර වුණා. මගේ හිතවතෙක් හිටියා ඔහුට වරින් වර ලක්ෂ ගණනින් මුදල් දුන්නා. ඔහුට ඉඩමක් විකුණලා ලක්ෂ 10ක් එයා දුන්නා. ඒ පුද්ගලයා මගේ දුරකතනයට කතා කරලා ඇහැව්වා, ‘සංජීව මොකක්ද මේ කරපු ප‍්‍රකාශය, මොකක්ද මේ කරපු අපරාදේ, ඇයි මේ මනුස්සයා මේ පක්ෂෙට මේ දේ කළේ’ කියලා. මම කිව්වා ඔබතුමාම කතා කරන්න එහෙනම් කියලා. මම දුන්නා ෆොන්සේකාට ෆෝන් එක, අහවලා මේ කතාකරන්නේ කියලා. අමු අශිෂ්ට භාෂාවෙන් බැන වැදුණා. බැන වැදිලා කිව්වා මම හෙට කිරිබත්ගොඩ රැස්වීමේදී කියනවා කිව්වා මර්වින් සිල්වාගේ මයිලක්වත් වටින්නෑ කියලා. ජාතික නායකයෙක් නේද? ජාතික නායකයා ප‍්‍රභාකරන්ගෙයි, මර්වින්ගෙයි මයිල් ගැන කතාකරන්න ගියායින් පස්සෙ මොකද වෙන්නෙ. දැන් බලන්න වේදිකාව උඩ ඔහු කෝපයෙන් වියරුව නලියනවා. මේක හැමෝම දන්නවා. නමුත් මේක ඔහුට කියන්න බයයි.

Q: ෆොන්සේකා මහත්තයගේ දේශපාලන ජීවිතේ අරමුණ මොකක්ද?

එයාට ඕන විධායක ජනාධිපති වෙන්න.

Q: විධායක ජනාධිපති වෙන්න ඔහු මොනවද කරන්නෙ?

එයාට මම අර මුලින් කියපු කාරණා දෙක ගැන බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මෙයා විශ්වාස කළා මොන මොහොතක හරි මෙයාට ප‍්‍රජා අයිතිය ලැබෙයි කියලා. ඒ වගේම විශ්වාස කළා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, ඒ වගේම චන්ද්‍රිකා මැතිනිය කොයි වෙලාවක හරි එතුමාම පොදු අපේක්ෂකයා කියලා යෝජනා කරයි කියලා.

Q: මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ හරි චන්ද්‍රිකා හරි මෙයා පොදු අපේක්ෂකයා විදිහට යෝජනා කරන්න විදිහක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ අරමුණු තියෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නනේ?

ඔව්. නමුත් මෙයා ඒක පෙන්නන්නෑනේ.

Q: පෙන්නන්නෑ කියන්නේ?

මෙයා පෙන්නන්නෑනේ විධායක බලය ඕන කියලා. මෙයාගේ හිතේ තියෙන යටි අරමුණනේ විධායක බලය කියන එක. විධායක බලය නැතුව මේ රට පාලනය කරන්න බැහැ කියන එක පැහැදිලිව මෙයා කියනවා. නමුත් ඒ අයට පෙන්නන්නෑ විධායක බලය ඕන කියන එක. එයා කියන්නේ මේක ගත්තට පස්සෙනේ ඒක කරන්නේ කියලා.

Q: ඒ කියන්නේ මෙයා කරන්නේ රැවටීම තමයි?

රැවටීමට තමයි. උදාහරණයක් ගත්තොත් ශිරාණි බණ්ඩාරනායක මැතිනිය සම්බන්ධයෙන් බද්ධ වෛරයකින්නේ ඉන්නේ.

Q: ඒ මොකද ඒ?

ඇයි ඔය ලබාදුන්නු තීන්දු සම්බන්ධයෙන්. හැබැයි කැමරාව ඉස්සරහා රඟපානවා. එතුමිය වෙනුවෙන් පෙනී ඉන්නවයි කියලා. එතකොට මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ රැස්වීම තිබ්බා. ඒකට සියලූ දේශපාලන නියෝජිතයන් ඇවිත් තිබුණා. සරත් ෆොන්සේකාටත් මේ සඳහා ආරාධනාවක් තිබුණා. ඒ අවස්ථාවේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ප‍්‍රකාශයක් කරලා තිබුණා. මේ විධායක බලය අහෝසි කරන්න පුළුවන් එකම සමතා මහින්ද රාජපක්‍ෂ මහත්තයා විතරයි කියලා. ඒ වෙලාවේ ඊළඟ කතාව තිබුණේ සරත් ෆොන්සේකා මහත්තයට. ඊට පස්සේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට ඇනුම් පද එල්ලවෙන විදිහට තමයි එයාගේ එයාගේ කතාව කරලා රැුස්වීමත් අවසන් වෙන්න ඉස්සෙල්ලා අපේ කාර්යාලයට ආවේ. ඇවිල්ලා සෝභිත හාමුදුරුවන්ට හොඳටම බැන්නා.

Q: සෝභිත හාමුදුරුවන් ඒ වෙලාවේ හැසිරුණේ?

සෝභිත හාමුදුරුවන් කිසිදු ස්ථාවරයක් නැති පුද්ගලයෙක් හැටියට තමයි සරත් ෆොන්සේකා මහත්තයා එදා හැඳින්වූවේ. ඒ කියන්නේ මෙයා බලාපොරොත්තු වුණා සෝභිත හාමුදුරුවෝ පොදු අපේක්ෂකයා මෙයා වෙන්න ඕන කියලා කියයි කියලා. ඊට පස්සේ චන්ද්‍රිකා මැතිනිය කොයි වෙලාවේ හරි මෙයාට උදව් කරයි කියන විශ්වාසෙත් මෙයාගේ තිබුණා. චන්ද්‍රිකා මැතිනියව තුන් පාරක් මෙතුමා හමුවුණා. අවසානයට මගේ දුරකතනයට තමයි ඒ කාර්යාලයෙන් කතාකරලා කිව්වේ සරත් ෆොන්සේකා මහත්තයට දෙන්න කියලා. ඊට පස්සේ දෙන්නා හමුවෙන්න වෙලාව දාගත්තා. වෙලාව දාගෙන එතුමියව හම්බවෙන්න ගිහිල්ලා ආපහු ආවා. කාර්යාලයට ඇවිල්ලා කිව්වා ‘මෙයා හිතන් ඉන්නේ තාමත් මෙයාට මේ රටේ ජන බලයක් තියෙනවා’ කියලා. එතකොට මම ඇහැව්වා ‘ඇයි මොකද වුණේ’ කියලා. එදා චන්ද්‍රිකා මැතිනිය කියලා තියෙනවා මහින්ද රාජපක්‍ෂ පරද්දන්න පුළුවන් මට විතරයි කියලා. එදා ඇත්තටම කාර්යාලයට ඇවිල්ලා මේ චන්ද්‍රිකා මැතිනියගේ රෙදි ගැලෙව්වා.

Q: රනිල් වික‍්‍රමසිංහ ගැන කොයි වගේ අදහසක්ද තියෙන්නේ?

අද මේ එක්සත් ජාතික පක්ෂය යන ගමන ගැන ඉතාමත්ම කැමැති පුද්ගලයා තමයි සරත් ෆොන්සේකා මහත්තයා. ඔහු කැමැති නැහැ මොනම හේතුවක් නිසාවත් මේ පක්ෂය එකතු වෙනවට. විශේෂයෙන්ම දැන් ඔය නායකත්ව කමිටුවට සජිත් පේ‍්‍රමදාස මහත්තයා සහභාගි වෙන්නෑ කියලා කිව්ව දවසේ තමයි ඔහුගේ මම දැකපු සන්තෝෂයෙන්ම හිටපු දවස.

Q: සංජීව, සරත් ෆොන්සේකා ගෝඨාභයට විරුද්ධව නැගී එන හමුදා කැරැල්ලක් තුළ බලයට එන්න උත්සහ කරනවා කියලා ඔබ කිව්වා?

ඔව්.

Q: ගෝඨාභයට විරුද්ධව නැගී එන කැරැල්ලක් සරත් ෆොන්සේකාට වාසිදායක වෙන්නේ කොහොමද? සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් පක්ෂපාතී පිරිස් හමුදාව තුළ ඉන්නවද?

විශ‍්‍ර‍්‍රාම ගිය හමුදාවේ යම් පිරිසක් ඉන්නවා. නමුත් ඉතින් බහුතරයක් ඉන්නේ මෙයා ගැන කලකිරිලා.

Q: එහෙනම් කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ?

දැනට හමුදාවෙ ක‍්‍රියාකාරීව ඉන්න සමහර පුද්ගලයෝ මෙයාව හමුවෙන්න එනවා. මම ඔහුගේ කාමරයේ ඉන්නකොට එක්කෙනෙක් ඇවිත් කිව්වා. හමුදාව තුළ ඉන්න බහුතරයක් පීඩාවකට ලක්වෙලා ඉන්නේ, මේ පිඩලි අල්ලන්න, කුලී වැඩකරන්න වෙලා තියෙන නිසා. මේ පීඩාවට පත්වෙලා ඉන්න පුද්ගලයෝ අතේ තියෙන්නේ ආයුධ. ඒක නිසා මට ලොකු බයක් තියෙනවා කිව්වා මේ රටේ මොකක්හරි ලොකු විනාශයක් වෙයි කියලා. ඒ පිළිබඳ ෆොන්සෝකා මහත්තයාට විශ්වාසයක් තියෙනවා කොයි වෙලේ හරි ඒ අය ඔහුව නායකයා හැටියට පිළිගනියි කියලා.

Q: සංජීව ඔබ කිව්වා ෆොන්සේකා මහත්තයා බද්ධ වෛරයකින් ඉන්නේ ටිරාන් අලස්, අර්ජුන රණතුංග, මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය වගේ ඔහුව හැර ගිය පුද්ගලයෝ එක්ක. දැන් සංජීවට බය නැද්ද ඔබත් ඒ ලිස්ට් එකටම වැටීම ගැන?

පැහැදිලිවම මට විශ්වාසයක් තියෙනවා දැන් අංක එකේ ඉන්නේ මම.

Q: ඔබ කියන දරුණු මානසික ව්‍යාධියකින් පෙළෙන ඒ හමුදා සොල්දාදුවා ඔබට යම්කිසි අනතුරක් කරයි කියලා හිතෙන්නැද්ද?

මෙහෙමයි, මගේ ජීවිතේ මම තීරණ අරන් තියෙන්නේ ඒ අනතුරු හැම තිස්සෙම අරගෙන. 2005 මහින්ද රාජපක්‍ෂ මහත්තයා මේ රටේ විධායක ජනාධිපති හැටියට දිවුරුම් දීලා සති ගණනක් ඇතුළත තමයි ජාතික සේවක සංගමයේ ලේක්හවුස් ශාඛාවේ කණ්ඩායමක් කැමැති වුණේ මහින්ද රාජපක්‍ෂ මහත්තයට………

Q: මහින්ද රාජපක්‍ෂ කියන චරිතය නෙමෙයි, සරත් ෆොන්සේකා කියන චරිතයත් එක්ක මේ රටේ ජනප‍්‍රිය මාධ්‍යවේදියෙක්ගේ ඝාතනය ඈදිලා ඉවරයි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතකයා විදිහට හඳුන්වන්නේ මේ වෙනකොටත් සරත් ෆොන්සේකාව. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?

ඕක ලාල් වික‍්‍රමතුංග මහත්තයා අවස්ථා දෙකකදී කියලා තිබුණා. මට මතක හැටියට මහින්ද රාජපක්‍ෂ මහත්තයා කිව්ව විදිහට තමයි එයා ඒ ප‍්‍රකාශය කරලා තිබුණේ, මේකට ඍජුවම වගකිව යුතු පුද්ගලයා සරත් ෆොන්සේකා කියලා. මම ඔහුගෙන් ඒ ගැන ඇහුවා. ඔහු ඒ වෙලාවේ යම්කිසි ප‍්‍රකාශයක් කළා ඔය සම්බන්ධයෙන්. ඔහු දුන්න උත්තරේ මං මගේ ඩයරියේ ලියාගත්තා. ඔහු හිනාවෙලා කිව්වා ‘සංජීව, සීමාව ඉක්මවා යන ඕනෑම අයෙකුට තවත් කාලයක් ලබා නොදිය යුතු බව’

Q: ඒ සම්බන්ධයෙන් ඔබ වෙන මොකවත් ඇහුවේ නැහැ?

නැහැ. ඒ උත්තරෙන් මම සෑහීමකට පත්වුණා.

Q: මොකෙන්ද ඔබ සෑහීමකට පත්වුණේ?

පත්වුණා කියන්නේ මට කියපු දෙයින් මට හිතුණා මෙයා ඍජුවම මේ දේට සම්බන්ධ වෙන්න ඇතියි කියලා.

Q: එතකොට ඔබට හිතෙන් නැද්ද ලසන්ත කියන මාධ්‍යවේදියාට වුණ දේම හෙට සංජීව කියන මාධ්‍යවේදියාටත් වෙයි කියලා?

මම හිතනවා කොයි වෙලාවක හරි මට මේ අනතුර වෙයි කියලා. හැමෝම දැන් මට කියන්නේ ප‍්‍රවේශම් වෙන්න කියලා.

Q: එහෙම හැකියාවක් දැන් ඔහුට තියෙනවද?

පැහැදිලිවම තියෙනවා.

Q: නමුත් දැන් ඔහු හමුදාපති නෙමෙයිනේ?

හමුදාපති නොවුණට රහසිගතව ඔහුව හමුවෙන්න එන පුද්ගලයෝ ඕනතරම් ඉන්නවා. ඒ කියන්නේ ඔහු MSD එකට හිටපු ගමන් දැනුම් දෙනවා අහවලා එනවා කිසිම චෙකප් එකක් කරන්නැතුව ඇතුළට දාන්න කියලා. ඒ වගේ පුද්ගලයෝ විවිධ අවස්ථාවල එනවා. අපි දන්නෑනෙ ඒ කවුද කියලා.

Q: දැන් ඔබේ ඊළඟ දේශපාලන උපක‍්‍රමේ මොකක්ද?

ඇත්තටම සරත් ෆොන්සේකා මහත්තයා මගේ දේශපාලන ජීවිතයට තිත තිබ්බා. ඒ කියන්නේ මේ දේශපාලනය කියන එක අප‍්‍රිය කෙරුවා සරත් ෆොන්සේකා මහත්තයා මට.

Q: දැන් එක්සත් ජාතික පක්ෂය ඔබට භාරදීපු කොන්ත‍්‍රාත්තුව ඉවරද?

එක්සත් ජාතික පක්ෂයත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණෙ නෑ. හැබැයි ඒකෙ මන්ත‍්‍රීවරු පෞද්ගලිකව මගේ හිතවතුන්ව හිටියා. නමුත් මම කාගෙවත් කොන්ත‍්‍රාත්කාරයෙක් නෙමෙයි මහත්තයෝ. හැබැයි පැහැදිලිව මතක තියාගන්න වයඹ මධ්‍යම ඡන්දෙදි ෆොන්සේකා මහත්තයාගේ වාහනය පැදවූ රියැදුරු 22ක් බැහැලා ගියා.

Q: ඇයි ඒ?

රියැදුරාට උගන්වනවා. ඔහුට ඕන විදිහට ජියර් එක දැම්මේ නැත්නම් ඒ රියැදුරා ඉවරයි. උගේ අම්මා අප්පා ඉවරයි. සත්තු වත්තේ නම් ටික ඉවරයි. එක රියැදුරෙක් මහමඟ වාහනේ තියලා, ‘ආ මහත්තයෝ මෙන්න අපි ගියා’ කියලා සැලියුට් එක ගහලා ගියා යන්න. එතකොට ඒ විතරක් නෙමෙයි මොහුගේ ආරක්ෂාවට දාලා තියෙනවා MSD එකෙන්. එතකොට MSD එකේ ප‍්‍රධාන නිලධාරියා ඇතුළු සැරයන්වරු තුන්දෙනෙක්. ඔවුන් ඇත්තටම පුදුමාකාර විදිහට තමන්ගේ රාජකාරියෙන් බැහැරව ගිහිල්ලා මේ පුද්ගලයාට අවංකවම කටයුතු කරපු අය. අන්තිමේදී කිව්වා අපිව මෙතැනින් ට‍්‍රාන්සර් නොකළහොත් අපි සේවයෙන් ඉවත් වෙනවයි කියලා. එවැනි දරුණු පුද්ගලයෙක් ඔහු. ඔවුන් ජීවිතේට දැකලා නැහැ මේ වගේ දරුණු පුද්ගලයෙක්. ඒ හැම වෙලාවකදීම මම උත්සහ කළේ මේ හැමදෙනාම අරගෙන මේ පක්ෂය ගොඩදාන ගමන යන්න. මගේ ඉල්ලීම මත තමයි ඔවුන් වයඹ මධ්‍යම ඡන්දෙ ඉවර වෙනකල් හිටියේ. මම කිව්වා ඔබලා ඉවත්ව ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මේ පණිවුඩය රාජ්‍ය මාධ්‍ය විසින් අයුතු විදිහට පාවිච්චි කරනවා. අඩුම ගාණේ මේ ඡන්දෙ ඉවර වෙනකල්වත් ඉන්න කියලා. මම කොන්ත‍්‍රාත් කළා නම් මම මොකටද එහෙම කරන්නෙ?

Q: සංජීව, ඔබ වයඹ, මධ්‍යම ඡන්දය වෙලාවේ රාජ්‍ය මාධ්‍යයට හෝ වෙනයම් මාධ්‍යයකට හෝ අයථා විදිහට පාවිච්චි නොකරන්න රහසිගත ලෙස තියාගෙන හිටපු රහස් ඔක්කොම මේ තීරණාත්මක මැතිවරණයේදී එළියට දානවා. ලංකා ඉතිහාසයේ බස්නාහිර හා දකුණ කියන්නේ හරි තීරණාත්මක මැතිවරණ. ඒකයි මම ඔබෙන් ඇහුවේ එජාපයේ කොන්ත‍්‍රාත්තුව ඉවරයිද කියලා. යූඑන්පී එකේ ඔබ ඔය ආශ‍්‍රය කරන්නා වූ ළඟින් ඉන්න මන්ත‍්‍රීවරුන්ගේ වුවමනාවටයි ඔබ මේක කළේ කියලා කිව්වොත් ඔයාට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද?

මෙහෙමයි, කවදාවත්ම ඔවුන් මගේ දුක සැප ඇහුවා මිස යූඑන්පී මන්ත‍්‍රීවරු කවදාවත්ම එවැනි අයුතු යෝජනාවක් කළේ නැහැ.

Q: දැන් ඊට පස්සෙ මොනවා වෙයිද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට?

අඟහරුවාදානෙ මේ සිද්ධිය වුණේ. එදා මාධ්‍ය සාකච්ඡුාවට එකතු වුණා මිනුවන්ගොඩ ආසන සංවිධායකත්. ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෑ කියලා පැහැදිලිවම කිව්වා. ඔහු ඉල්ලා අස්වීමේ ලියුමත් දුන්නා. නමුත් ඒ ඉල්ලා අස්වීමේ ලියුමට උත්තරයක් දුන්නෙ නැහැ මේගොල්ලෝ. මහත්තයෝ මේ පක්ෂයට ලැබෙන මුදල් සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් තියෙනවා. පක්ෂය ලියාපදිංචි වෙලා මාස 9ක් වෙනවා. තාමත් හාරදහස් ගාණක් වගේ තමයි සාමාජිකයෝ ඉන්නේ. එතකොට මේ සාමාජිකයෝ දෙකෙන් පංගුවකට වැඩිය රුපියල් 1000, 2000, 5000 වගේ දීලා සාමාජිකයෝ බවට පත්වුණා. නමුත් ඒ සාමාජිකයන්ට දීපු සල්ලිවලට රිසිට්පතක් නැහැ. එතකොට මේ සල්ලි නායකයා අතට අනිවාර්යයෙන් පත්කරන්න ඕනෙ. එතකොට මේකට ඩොනේෂන් ලැබෙනවා. ඒ ඩොනේෂන් නායකයා අතට දෙන්න ඕනෙ. එතකොට මේ තත්ත්වය වෙනස් කරන්න නොවැම්බර් මාසයේ විතර මම විශාල උත්සහයක් අරගෙන පක්ෂයට අරමුදලක් ගොඩනගන්න කතිකා කරලා, මේ පක්ෂයට විශාලම දායකත්වය දෙන පුද්ගලයාව අරමුදල් කමිටුවේ සභාපති හැටියට පත්කරලා මේක ගොඩනගා ගන්න මම ව්‍යාපාරික හමුවක් පවා පැවැත්තුවා. නමුත් සංවිධායකවරු, ව්‍යාපාරිකයෝ සල්ලි ගෙනැල්ලා දෙන්නේ නායකයා අතටනේ. හැබැයි ඒ සල්ලි කවදාවත් ආපහු කමිටුවේ සභාපතිලාට දෙන්නෙ නැහැ. දැන් ඔය මිනුවන්ගොඩ ආසන සංවිධායක දුන්නා ලක්ෂයක්. නායකයා අතට දුන්නෙ. පස්සෙ මෙයා පක්ෂෙ මහ ලේකම්ගෙ න් ඉල්ලූවා රිසිට් එක, අරමුදල් කමිටුවේ සභාපතිගෙන් ඉල්ලූවා. ‘කෝ ලක්ෂෙට මට රිසිට් එක, මට දෙන්න. මම දුන්නයි’ කියලා. එතකොට නායකයාට දුන්නොත් අපිට දෙන්නෑ, මේ අය දුන්න උත්තරේ ඒක. ඊට පස්සෙ මිනිහා තීරණය කළා මේ වගේ පක්ෂයක මම ඉන්නෙ නැහැ කියලා. ඔහු තීරණය කළා මේ වගේ තැනක ඉන්නවට වැඩිය හොඳයි මම මගේ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ ඔහු ඉල්ලා අස්වෙන්න ලියුමක් එව්වා.

Q: කවුද එයා?

මිනුවන්ගොඩ ආසන සංවිධායක ලලිත් ගුණවර්ධන. එයා විතරක් නෙමෙයි, ඉදිරියේදී තවත් ආසන සංවිධායකවරු විශාල ප‍්‍රමාණයක් ඉල්ලා අස්වෙන්න නියමිතයි. ඒ අයගේ ඉල්ලීම පරිදි තමයි මම මාධ්‍ය සාකච්ඡුාව කළේ. ඒ අය කිව්වා අපි ජනතාවත් එක්ක ඉන්නෙ, එකපාරටම ඉල්ලා අස්වුණොත් එහෙම ඒ මිනිස්සු අපිට ගහයි, අපි මොකක්ද මේ ගත්ත තීරණේ කියලා. ඒ නිසා මේකෙ ඒකාධිපති ස්වරූපය, මේකෙ තියෙන මුදල් අක‍්‍රමිකතා, මේකෙ විනිවිදභාවයක් නැහැයි කියන එක, මේක මේ රටට වැඩක් නැති පක්ෂයක් කියන එක හෙළිදරව් කරන්න. එතැනදී අපි තීරණයක් ගන්නම්.

සමන් සමරක්කොඩි
- රන්දිව පුවත්පත

No comments:

Post a Comment