Friday, March 28, 2014

මුහුදට වැටුණු යානය සොයන ශ‍්‍රී ලාංකීය විද්‍යාඥයා

පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය 08 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය මුහුදට පතිත වූයේ නම් එය පවතින්නේ කුමන ස්ථානයේදී දැයි තමන්ට නිශ්චිතව ප‍්‍රකාශ කළ හැකි බව ඕස්ටේ‍්‍රලියානු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි පවසනවා. ශී‍්‍ර ලාංකිකයෙකු වන මොහු මීට පෙර ඉන්දීය සාගරයේ ඕස්ටේ‍්‍රලියාවට නිරිත දිග ප‍්‍රදේශයෙන් හමුවු සුන්බුන් මත යානය පතිත වූ ප‍්‍රදේශය සලකුණු කර දක්වා තිබුණා. කෙසේ වෙතත්, මලයාසියාව අද (28) ශී‍්‍ර ලංකා වේලාවෙන් උදෑසන 9.30 ට ප‍්‍රකාශ කර තිබුණේ සිය මෙහෙයුම් සුන්බුන් හමුවු ස්ථානයේ සිට කිලෝමීටර් 1100 ක් ඊසාන දෙසින් සිදුකරන බවයි. ගුවන් යානයේ සන්නිවේදනය, මලක්කා සමුද්‍ර සන්ධිය සහ දකුණු චීන මුහුද අතර නතරවීමට පෙර ලබාගත් රේඩාර් වාර්තා විශ්ලේෂණය කිරීමෙන් නව නිරීක්ෂණ කලාපය අනාවරණය කරගත් බවයි ඕස්ටේ‍්‍රලියානු ගවේෂණ කණ්ඩායම මෙහිදී ප‍්‍රකාශ කළේ. 

කෙසේ වෙතත්, මෙහිදී යම් කිසි සාධකයක් හමුවුවහොත් එම මුහුදු කලාපයේ ගුවන් යානය පතිත වූ ස්ථානය තමන්ට නිශ්චිතව ප‍්‍රකාශ කළ හැකි බව මහාචාර්ය චරිත පට්ටිආරච්චි ඕස්ටේ‍්‍රලියාවේ සිට අදහස් පළ කරමින් ප‍්‍රකාශ කළා. 

‘‘ අද උදෑසන මලයාසියාවෙන් අපිට ලබාදුන් තොරතුරු වලට අනුව මේ යානය තිබෙන ස්ථානය වෙනස් වෙලා තිබෙනවා. මලයාසියාව දැන් කියන්නේ ඔස්ටේ‍්‍රලියාවට කිලෝමීටර් 1000ක් පමණ උතුරෙන් මෙම යානාව වැටුණා කියලයි. දැන් අපිට මුල සිට මේ සම්බන්ධයෙන් සොයා බැලීමටයි දැන් සිදුවෙලා තිබෙන්නේ.’’ 

‘‘ අපිට ඕනි කාට හරි කියන්න සැටලයිට්වලින් හරි ඔවුන් මොනව හරි දැක්කොත් ඒ ගැන අපිට දැනුම් දෙන්න. දැනටමත් සුමාන 3ක් විතර ගත වෙලා. එහෙම දැනුම් දුන්නොත් අපිට පුළුවන් සුමාන 3කට කලින් ඒ සුන්බුන් කොහේද තිබුණේ කියලා කියන්න. ඒ නිසා අපිට ඕනි මූලිකව තොරතුරු ලබා දෙන්න.’’ 

මහාචාර්ය චරිත පට්ටිආරච්චි 2004 වසරේ මෙරටට බලපෑ සුනාමි ව්‍යවසන අවස්ථාවේදීද ශී‍්‍ර ලංකාවට පැමිණ සිය බුද්ධිමය දායකත්වය සපයා තිබෙනවා. ඉන්දීය සාගරයේ සුනාමි ආරක්ෂණ පද්ධතිය පිහිටුවීමේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නියෝජිතයෙකු ලෙසද මෙම මහාචාර්යවරයා කටයුතු කළා. එමෙන්ම, මහාචාර්යවරයා සමඟ මෙම ගුවන් යානය පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට ඕස්ටේ‍්‍රලියානු විශ්වවිද්‍යාලයේ සේවය කරන ශී‍්‍ර ලාංකිකයෙකු වන ආචාර්ය සරත් විජේරත්නද එක්ව සිටිනවා.

No comments:

Post a Comment