Tuesday, July 28, 2015

රනිල්ගේ වැඩ ගැන මහින්ද සිංදුවකින් කියයි - ‘අවුරුදු 18ට වැඩි තරුණ පිරිසට 50,000ක් දෙනවා‘

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කථාව.

‘‘අපි අද මාතෘභූමියේ අනාගතය ගැන ඉතාම වැදගත් ලියවිල්ලක් ඉදිරිපත් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරපු වෙලාවේ මට මතක් වුණේ 2005 අපි බලයට පත්වෙන කොට තිබුණු තත්ත්වය.
කුණු ගොඩවල් කොළඹ හැමතැනම. මිනිස්සු වහ බීලා මැරුණා.

මම පසුගිය දවස්වල බැලුවේ රටේ කෙලවරට පැය ගාණකදී යන්න පුළුවන්. මම ගියා. මම දැක්කා එජාපෙ නියෝජිතයොත් උදේ ගිහින් හම්බන්තොටට රැස්වීම් කරලා කොළඹ එනවා සාකච්ඡා පවත්වන්න. රෑට යනවා කුරුණෑගලට. හැබැයි එදා ගියා නම් හම්බන්තොටට දවසක් විතර ගිහින් තමයි ආපහු එන්න වෙන්නේ. මේක අමතකයි සමහර අයට. හාමුදුරුවනේ ඔබවහන්සේලා නිතර කියනවා අපේ අයට හුඟක් ඉක්මනින් දේවල් අමතක වෙනවා කියලා. හැබැයි මේ වසර 4 ක් තුළ අපිට රට වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අද සමහර උදවිය හා රනිල් අගමැතිතුමා අහනවා ඇයි මේ මහින්ද ආපහු එන්නේ. ජනතාව ඇවිල්ලා කරපු ආරාධනයට, මගේ නිවසට මාව බලන්න රට පුරා ඉඳන් ආපු වෙලාවේ ඔවුන්ගේ එකම ඉල්ලීම වුණේ ආපහු එන්න කියලා. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන කොට කාන්තාවකට පාරේ යන්න බැරිව ඉන්න වෙලාවක මංකොල්ල කෑම් වැඩිවෙලා උතුරට යන්න බියක් ඇතිවෙලා තියෙන යුගයක ආපහු එන්න කියලා කිව්වා.

මේ ගැමියා නාගරික සමාජය අපිව සොයාගෙන ආවා. අපි මේ වැඩපිළිවෙළ රටේ තියෙන වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. අපි පොහොර සහනාධාරය දුන්නා. රබර්වල මිල බහින කොට අපි 300ට ගත්තා. නමුත් අද ගොවියාගේ වී ටික මිලට ගන්නේ නෑ. රබර් සීට් ගොඩගැහිලා. සුළු තේ වගාකරුවන් ලක්ෂ 4ක් ඉන්නවා. මම මහනුවර ඉන්න කොට තේ 42ට 45ට 47ට ගන්නවා. ජාවාරම්කාරයින්ගෙන් පවරාගෙන ගොඩගත්ත ආයතන අද විනාශ කරලා. ජනතාවට අඩුමිලට බඩු දෙන්න තිබ්බ සතොස විනාශ කරලා. ඇමැතිවරයෙක් කිව්වා රජයේ සේවකයෝ වැඩියි. ඉදිරි මාසවල පඩිගෙවාගන්නත් බෑ කිව්වා. ආපස්සට රට හැරෙව්වා අවුරුදු 25කට එහා කාලයක් මේ කට්ටිය රට ඒ තත්ත්වයට හැරෙව්වේ නැත්නම් අපිට එන්න වෙන්නේ නෑ ආපසු සැරයක්. අපි පාඩම් අතීතයෙන් ඉගෙන ගත්තා. අපි ඉවසන්න ඕන තැන ඉවසගෙන ඉන්නවා. හැබැයි රට වෙනුවෙන් යුද්ධ කරන්න ඕන තැන අපි යුද්ධ කරනවා. අපි අද අලුතින් හිතනවා. මේ පසුගිය මාස 6 අපිට වෙලාව දුන්නා හිතන්න.

අපි නවීන දේශයක් අභීත රටක් සුහද සමාජයක් ගොඩනගනවා. අපිත් එක්ක තියෙන වෛරය නිසාම නතර කළ සංවර්ධන ව්‍යාපෘති අපි ආයෙත් පටන් ගන්නවා. පහලොස් ලක්ෂයකට රැකියා නැතිවුණා. කොළඹ අද තියෙන තත්ත්වය නැති කරලා පිරිසිදු නගරයක් කිරීමේ වගකීම අපි භාරගන්නවා.

මට මතක් වෙනවා රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු ඇමැති කාලේ තරුණයන්ට කරපු දේ.

ඒ කාලේ නන්දා මාලනීගේ ගීතයක කියනවා

‘යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්

ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්

අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්

කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්‘

එදා අලුත් ලොවක් ගැන හිතපු තරුණයන්ට වුණේ මේකයි. මේක ලියපු සුනිල්ටත් රට හැරයන්න වුණා. එදා හිටපු තරණයන් හිටියානම් අනුර කුමාරගේ වයසේ අය බව ඒ අම්මලාට අද මතක් වෙනවා ඇති. ඒ අම්මලාගේ ළමයි බලාගන්න අපි සූදානම්.

ගමේ රටේ තරුණයෝ ආයුධ අතට ගන්න පෙළඹෙන කාරණා අපි අහෝසි කළා. අද ආපසු මේ මාස 5 බලන්න ශිෂ්‍යයින්ගේ මහපොළ අඩු කරලා. ප්‍රමාද කරලා. තරුණයෝ පරණ පුරුද්දට අරලිය ගහ මන්දිරයට පෙළපාළි ආවා. ආණ්ඩුවෙන් ඔළු පැළුවා. ඉස්පිරිතාලෙට නෙමෙයි යැව්වේ හිරගෙදරට. මාස 5ට මෙහෙමනම් අවුරුදු 5 ට කොහොම වෙයිද

වයස 18 ට වැඩි හැම තරුණයෙක්ටම ඉගෙන ගන්න රුපියල් 50,000 ගානේ දෙනවා. විශ්ව විද්‍යාලයට ඇතුළු වෙනකොට ඒ ළමයිට සූදානම් වෙන්න අපි තීන්දු කළා රුපියල් 10,000ක් දීලා මහපොළ 6000ක් දක්වා වැඩි කරන්න.

උසස් පෙළ සමත් වෙලා සරසවි යන්න බැරි අයට ඉගෙනගන්න ආධාර කරන්න වැඩපිළිවෙළක් හදනවා. අපට ඕනේ මානව සම්පත් දියුණු කරන්න. පරිගණක ඥානය අපිටත් දුන්නා ජනවාරි 8 වැනිදා ෆේස්බුක් හරහා. මේකේ ඉක්මනින් බොරු ප්‍රචාර ගෙන ගියා. ඔවුන් අවබෝධ කරගන්න ටික දවසක් යයි. ඒ නිසා අපි හැම නිවසකම බ්‍රෝඩ් බෑන්ඩ් පහසුකම් දීලා හැම කෙනාටම ඔන්ලයින් වෙළඳපළට ඇතුළු වෙන්න අවස්ථාව දෙනවා. දැන් වයිෆයි ඇරලා වහනකොට ගිහිල්ලා.

අපි මේ අවුරුදු 4ක් ඇතුළත පාර, විදුලිය ආදී රටේ යටිතල පහසුකම් හැදුවා.

අපේ රටේ රජයේ සේවකයා පළවැනි වතාවට ලක්ෂපතියෙක් වෙනවා. අපි රජයේ සේවකයා ගැන විතරක් නෙමෙයි අපි පෞද්ගලික අංශයේ සේවකයාටත් රුපියල් 3000ක වැටුප් වැඩිකිරීමක් කරනවා. අද මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව අසරණ වෙලා. අපි ව්‍යාපාරකයින්ට අවශ්‍ය දිරිදීම් දීලා ඒ අය නගා සිටුවනවා.

මුස්ලිම් පල්ලි ටික අපි හැදුවා. කතෝලික පල්ලි හැදුවා. පසුගිය කාලේ දෙමළ ජනතාව තුළත් මුස්ලිම් අයත් අතරේ භීතියක් පැතිරෙව්වා. එතැන තිබෙන කුමන්ත්‍රණය අද මුස්ලිම් ජනතාව පිළිඅරන් තියෙනවා. මේවා ගැන කැබිනට් මණ්ඩලයේ කථා කළ අය රනිල්ගේ ඔඩොක්කුවට පැනලා ඔවුන්ව බදාගෙන ඉන්නවා. එජාපය කවදාවත් මේ රටේ සුළු ජාතීන්ට කරපු දෙයක් නෑ. ඒක නිසා මේ පිළිබඳව ඔබ අවබෝධයෙන් ඉන්න. අද මේවා ගැන මුස්ලිම් දෙමළ ජනතාව අවබෝධ කරගෙන සිටීම වැදගත්. කිසිම ජාතියකට ආගමකට බියක් ඇති වෙන්න අපි ඉඩතියන්නේ නෑ. මහජන නියෝජිතයෙක් අමු අමුවේ මහ පාර මැද දනගස්වලා පටන්ගත්ත නීතිය අතට ගැනීම අද දිගටම කරගෙන යනවා. නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධිපත්‍ය රකින්න ඕන සියලු දේ අපි කරනවා. අපි යහපත් විදේශ සබඳතා නැවත ගොඩනගනවා. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරලා අපි නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ රජය ගෙනත් මග ඇරපු නව මැතිවරණ ක්‍රම අපි ඇති කරනවා.

අද අපිට එරෙහිව සටන් කරන රනිල් එක ජයග්‍රහණයක් රටට ගෙනත් තියෙනවාද කියලා අපි අහනවා. මේ රට ගොඩනගන්න පුළුවන් වෛරයෙන් නෙමෙයි. සුහදශීලි සමාජයක් ගොඩනැගිය යුතුයි. මේ රටේ ජනතාව පණ ඇති සාර්ථකත්වය සොයායන රටක් හදන්න අපි අලුතින් පටන් ගනිමු. අභීත පණ ඇති රටක් අපි අනිවාර්යයෙන්ම ගොඩ නගනවා. ඔබ සැමට සුබ අනාගතයක්!‘‘

No comments:

Post a Comment